පුංචි ශ්‍රී ලංකාවේ ලොකු ක්‍රිකට්වලට තවත් ක්‍රීඩාංගණයක්

98

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රජය එක්ව හෝමාගම ප්‍රදේශයේ දියගම මහින්ද රාජපක්ෂ පිටිය අසල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සූදානම් වන බව වාර්තා වේ.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු ඇරඹේ

දිවා/රාත්‍රි තරග පැවැත්වීමට හැකි ලෙස නිර්මාණය වෙන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සැලසුමට අනුව මෙහි දී ප්‍රේක්ෂකයින් 40,000ක් සඳහා එක්වර තරගයක් නැරඹීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාව තුල තිබෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ වන කොළඹ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ සහ හම්බන්තොට සූරියවැව යන ක්‍රිකට් ක්‍රීඩාංගණවල එකවර තරගයක් නැරඹීමට හැකියාව ඇත්තේ ප්‍රේක්ෂකයින් 35,000ක් සඳහා පමණි. 

ශ්‍රී ලංකා රජය මේ සඳහා අක්කර 28ක ඉඩමක් ලබා දීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ රජයේ නිලධාරීන් කිහිප දෙනෙක් එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට අපේක්ෂා කරන භූමිය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (17) විශේෂ සංචාරයක නිරතව ඇත.

“2023-2030 ICC තරග චක්‍රය තුල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා හැකි වන ලෙස මේ ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. වසර 3ක කාලයක් තුල මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වීමට නියමිතව තිබෙන මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 30-40ක පමණ මුදලක් වැය වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හරහා ඇමරිකන් ඩොලර් මිලියන 15ක ණයක් ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

පුහුණුවීම් අරඹන විට කෝලි සහ ශර්මා අතරමං වෙන ලකුණු

මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාපනය සහ පොලොන්නරුව යන ප්‍රදේශවල ද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව පවසා තිබෙන නමුත් එම එකඳු ක්‍රීඩාංගණයක හෝ වැඩ කටයුතු තවමත් අවසන් වී නොමැත. එසේම පසුගිය නොවැම්බර් මාසයේ දී පාදුක්ක ප්‍රදේශයේ ද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් පිටියක් ඉදිකිරීමට යෝජනා වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන මේ පුවත ගැන සිය නිල twitter ගිණුමේ මෙසේ සටහන් කර තිබුණි.

“අප සතුව දැනට පවතින ක්‍රීඩාංගණවලවත් ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර ක්‍රිකට් තරග හෝ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්නේ නැති අපිට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් අවශ්‍ය ද?” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<