NSL සිව්දින ශූරතාවය කන්ද උඩරටට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

984

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කළ මහනුවර ක්‍රීඩකයන් රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් ද සමඟින් ශූරතාවය තමන් සතුකර ගන්නට සමත් වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 444ක් වාර්තා කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට සමත් වුනේ ලකුණු 227ක් පමණයි. තෙවැනි දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන මහනුවර ක්‍රීඩකයන් එක් කඩුල්ලක් දැවී ලකුණු 52ක් වාර්තා කරගෙන සිටියා.

තරගයේ සිව්වැනි තීරණාත්මක දිනය වූ අද (10) දවසේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දැමීමට සිදු වුනා. ඒ වන විට පළමු ඉනිමේ වාසිය ලබා සිටි මහනුවර ක්‍රීඩකයන් තරගාවලියේ ජයග්‍රාහකයන් ලෙසින් නම් කෙරුණු අතර අනුශූරයන් ලෙසින් අභිෂේක ලැබුවේ යාපනය කණ්ඩායමයි. ඔවුන්ට අනුශූරතාව සමඟින් මුදලින් රුපියල් මිලියන 2.5ක මුදල් ත්‍යාගයක් හිමි වුනා.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් මහනුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු සම්මාන දිනා ගත් අතර ඔහුට ඒ වෙනුවෙන් පිරිනැමෙන කුසලානය සමඟ මුදලින් රුපියල් 250,000/=ක් ත්‍යාගයක් ද හිමි වුනා. ඔහු තරග 6ක ඉනිම් 11ක් ක්‍රීඩා කරමින් ශතක 4ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 721ක් රැස් කරගැනීමට සමත් වුනා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ කොළඹ නියෝජනය කළ වමතින් දඟපන්දු යවන 30 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය. ඔහුට ද ඒ වෙනුවෙන් පිරිනැමෙන කුසලානය සමඟ රුපියල් 250,000/=ක මුදලක් හිමි වුනා. ඔහු තරග 4ක ඉනිම් 8ක දී පන්දුවාර 160.4ක් යවමින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 26ක්.

මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණු අතර ඔහුට ඊට හිමි සම්මානය සමඟින් මුදලින් රුපියල් 500,000/=ක් ත්‍යාගයක් ද හිමි වුනා. ඔහු පිතිකරුවෙකු ලෙසින් තරග 6ක ඉනිම් 11කට ක්‍රීඩා කරමින් ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 889ක් රැස් කරගෙන සිටියා. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 80.54ක්.

මහනුවර – පළමු ඉනිම සියලු දෙනා දැවී 444 (131.2): කමිල් මිෂාර 56, කසුන් විදුර 71, ඕෂඳ ප්‍රනාන්දු109, කමිඳු මෙන්ඩිස් 87, නිරෝෂන් දික්වැල්ල 32, පුලින තරංග 43, ධනංජය ද සිල්වා 3/96, දිලුම් සුධීර 4/86, ජෙෆ්රි වැන්ඩර්සේ 2/97.

යාපනය – පළමු ඉනිම සියලු දෙනා දැවී 227 (89.1): නිශාන් මධුශ්ක 57, දිලුම් සුධීර නොදැවී 49, ධනංජය ද සිල්වා 30, ලසිත් ඇඹුල්දෙණිය 4/100, අසිත ප්‍රනාන්දු 2/25, අශේන් ඩැනියෙල් 3/89.

මහනුවර – දෙවැනි ඉනිම (තෙවැනි දිනයට තරගය නතර කරන විට) කඩුල්ලක් දැවී 52 (15): කමිල් මිෂාර 26.

ක්‍රිකට් ලොව උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<