මනෝජ් හා තරංග, ටැමිල් යූනියන් ගොඩගනියි

912
Club cricket

ශ්‍රී ලංකාවේ අනාගත තාරුණ්‍යයේ හැකියාවන් උරගාබලන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2016” ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරඟය A කාණ්ඩයේ තරඟයක් අද (19) කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ විය. එහිදී ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට පුලින තරංග හා මනෝජ් සරත්චන්ද්‍ර සමත් විය.

පසුගිය ලිපි: කළුතර නගර කණ්ඩායමට කඩුලු 8ක ජයක්

කාසියේ වාසිය ජයග්‍රහණය කල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පළමු දිනය තුළම ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 252කට අවසන් විය. දිනය අවසන් වනවිට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි බදුරලිය ක්‍රීඩා සමාජය, කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබාගෙන සිටින ලදි.

උදෑසන පළමු පන්දුවේ සිටම නිවැරදි ඉලක්කයක් සහිතව දක්ෂ ලෙස පන්දු යැවූ බදුරලිය ක්‍රීඩා සමාජ පන්දු යවන්නන්, ටැමිල් යූනියන් මුල් පෙල පිතිකරණ බලඇණිය සුනු විසුනු කරන ලදි. තරමක් දුරට හෝ මැදපෙළ පිතිකරණ සබදතාවය ගැටගසාගත් නායක කිත්රුවන් විතානගේ 4 පහර 6ක් සමඟින් වේගවත් ලකුණු 27ක් ලබා ගත්තද, ඔහුගේ දැවියාමත් සමඟම ලකුණු 39කට කඩුලු 5ක් ලෙස ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ලකුණු පුවරුව ඇඳවැටිණි.

අනතුරුව පිටියේ ස්ථාවර වූ මනෝජ් සරත්චන්ද්‍ර හා පුලින තරංග ලකුණු 60ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ටැමිල් යූනියන් කණ්ඩායම යම් මට්ටමකට ගෙන එන ලදි. එහිදී පුලින තරංග 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 39ක් තම නාමය ඉදිරියෙන් සනිටුහන් කරගත් අතර, මනෝජ් සරත්චන්ද්‍ර 4 පහර 5ක් සමඟ ලකුණු 37ක් ලබා ගන්නා ලදි.

ටැමිල් යූනියන් පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් ජයම්පති මනරම් 4 පහර 5ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබාගෙන තම තුන් ඉරියව් දක්ෂතා විදහා දැක්වීමට සමත් විය. චරිත් ජයම්පති සමඟ අවසන් පෙල සවිබල ගැන්වූ චාමික කරුණාරත්න ද, 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟින් තම සඟයා හට තම උපරිම දායකත්වය ලබාදෙන ලදි. අවසානයේ දී ටැමිල් යූනියන් පළමු ඉණිම ලකුණු 252කට සීමා කරන්නට බදුරලිය ක්‍රීඩා සමාජ පන්දු යවන්නන් සමත් වූ අතර, සාලිය ජීවන්ත තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 51කට කඩුලු 4ක් දවාගනිමින් දස්කම් දැක්විය.

සවස කාලයේදී දී තම පළමු පිළිතුරු ඉණිම ආරම්භ කල බදුරලිය ක්‍රීඩා සමාජයේ ආරම්භක සබදතාවය ලකුණු 22කට සීමා වූ අතර, සචින් හේවාවසම් ලකුණු 15කට හා ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 12කට පළමු දිනය තුලම ක්‍රීඩාගාරය වෙතට හරවා යැවීමට ජීවන් මෙන්ඩිස් හා චාමික කරුණාරත්න සමත් විය. දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටින නදීර නාවල නොදැවී ලකුණු 7*ක් ද, නිමන්ද මදුසංක ලකුණු නොලබාම නොදැවී කඩුල්ලේ රැදී සිටියි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 252 (පන්දුවාර 63.3): චරිත් ජයම්පති 50, චාමික කරුණාරත්න 48, පුලින තරංග 39, සාලිය ජීවන්ත 4/51, අසංක සිල්වා 3/70

බදුරලිය ක්‍රීඩා සමාජ දෙවන ඉණිම(පළමු දිනය අවසානයේ දී) – 44/03 (පන්දුවාර 19): සචින් හේවාවසම් 15, ජීවන් මෙන්ඩිස් 1/06, චාමික කරුණාරත්න 1/15

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට