කනිෂ්ඨ බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ, නෝර්වේ සහ ලිතුවේනියාව හමුවේ ඉහල දස්කම් දක්වයි

228
Photo credits: WJC Bilbao 2016 - Sergio López

මූලික වටයේ තරඟ වලදී ස්වීඩ්නය හා දකුණු කොරියාව හමුවේ එක පෙළට ලද පරාජයන්ගෙන් පසුව ලෝක ශූරතා මිශ්‍ර කණ්ඩායම් බැඩ්මින්ටන් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තම ජයග්‍රහනයේ පිපාසය සංසිඳුවා ගන්නේ ඇල්ජීරියාව, නෝර්වේ හා ලිතුවේනියාව පරාජය කරමිනි. ඒ තවදුරටත් තරඟාවලිය තුල රැඳී සිටීමට නම් එම සියලු තරඟ ජය ගත යුතුව තිබූ බැවිනි.

පසුගිය ලිපි:  ශ්‍රී ලංකාව, කොරියාව හා ස්වීඩනය හමුවේ පරාජය වේ

BWF කනිෂ්ඨ මිශ්‍ර කණ්ඩායම් බැඩ්මින්ටන් තරඟාවලිය මේ දින වල ස්පාඤ්ඤයේ බිල්බෝ හිදි පැවැත් වේ. මෙහි මූලික වටයේ අවසන් තරඟයේ දී ඇල්ජීරියාව තරඟ වට 5-0 ලෙස පරාජය කරමින් ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මධුක දුලංජන හා කවිශ්ක ගුණරත්න එක්ව පිරිමි යුගල අංශයේ ජය හිමි කරගත් අතර තියුණු තරඟයකින් අනතුරුව රන්තුශ්ක සසිඳු පිරිමි කේවල අංශයේ ජය හිමි කරගත්තේ ය. ඒ ඇල්ජීරියානු ක්‍රීඩකයා ලකුණු 21-17, 20-22 සහ 11-21 ලෙස පරාජය කරමිනි.

ඇල්ජිරියාව සමඟ ලද ජයත් සමඟ ශ්‍රී ලංකාව  කාණ්ඩයේ 3 වන ස්ථානයට පැමිණියේ දකුණු කොරියාවට සහ ස්වීඩනයට පිටුපසින් සිටිමිනි. ඊළඟ වටයේ දී ශ්‍රී ලංකාව නෝර්වේ රාජ්‍යට එරෙහිව තරඟ වැදුනු අතර එම තරඟයේ වට 5න් 3ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

RESULTS - SRI LANKA vs ALGERIA

නොර්වේ රාජ්‍ය සමඟ පැවැති තරඟයේ දි  මිශ්‍ර යුගල අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කල රන්තුශ්ක සසිඳු හා නයනතාරා ටෙශානි විසින් 15-21 සහ 19-21 ලෙස මාරි ක්‍රිස්ටෙන්සන් සහ ඔලේ හර්මන් යුගලය පරාජය කිරීමට සමත්විය. පිරිමි යුගල හා පිරිමි කේවල තරඟ පරාජය වුවද බුත්මි ගලගමගේ විසින් කාන්තා කේවල් අංශයේ ජය මෙන්ම ඇය හා නයනතාරා ටෙශානි විසින් කාන්තා යුගල අංශයේ ජය ද වාර්තා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම තරඟයේ ජය අත් විය.

RESULTS SRI LANKA vs NORWAY

එම වටයේ ලද ජයග්‍රහනයත් සමඟ ශ්‍රී ලංකාව 33-40 ස්ථාන වල තරඟ වටයට මුහුණ දෙමින් සිටින අතර අද දින උදෑසන පැවැත්වූ තරඟයක දී ලිතුවේනියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මිශ්‍ර යුගල, පිරිමි කේවල සහ කාන්තා කේවල යන ඉසව් වල ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

එහිදී ද රන්තුශ්ක සසිඳු සමඟ නයනතාරා ටෙශානි යුගලය විසින් මාර්ක් සේම්ස් සහ ඔස්ටිජා බ්ලැන්ඩේට් යුගලය 21-7 සහ 21-11 ලෙස පහසුවෙන් පරාජයට පත් කල අතර මධුක දුලංජන විසින් පෝලියස් බර්ටේසියස් පිරිමි කේවල ඉසව්වේදී පරාජයට පත් කරන ලදී. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා බුත්මි ගලගමගේ විසින් කාන්තා කේවල අංශයෙන් එලිසබෙත් බර්සැන්ස්කි ලකුණු 21-12 සහ 21-06 ලෙස පරාජය කිරීමට සමත් වීමත් සමඟ සමස්ත තරඟයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.

RESULTS SRI LANKA vs LITHUANIA

33-40 වටයේ ලැබූ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව අද සවස් යාමයේ දී බල්ගේරියාවට එරෙහිව තරඟ වැදීමට නියමිතය. විශේෂයෙන්ම නෝර්වේ හා ලිතුවේනියාව වැනි ප්‍රබල කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණය ඉතා අගය කොට සැලකිය හැකි අතරම ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් සුබ දායක සලකුණක් බවට හඳුන්වා දිය හැක.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට