NSL දෙවැනි අදියරට මුල පුරයි

SLC National Super League 4 Day Tournament 2024

177

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර හෙට (14) සිට නැවත ආරම්භ වීමට නියමිතයි.

තරග කාල සටහන

Dates Team 1 Team 2 Venue
මාර්තු 14 – 17 Galle Kandy හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ
Jaffna Colombo කොළඹ, ආර්. ප්‍රේමදාස
මාර්තු 21 – 24 Colombo Dambulla හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ
Kandy Jaffna කොළඹ, ආර්. ප්‍රේමදාස
මාර්තු 28 – 31 Dambulla Galle රංගිරි දඹුල්ල
Colombo Kandy පල්ලෙකැලේ
අප්‍රේල් 04 – 07 Jaffna Galle කොළඹ, ආර්. ප්‍රේමදාස
Kandy Dambulla රංගිරි දඹුල්ල
අප්‍රේල් 23 – 26 Galle Colombo රංගිරි දඹුල්ල
Dambulla Jaffna පල්ලෙකැලේ
අප්‍රේල් 30 සිට මැයි 03 දක්වා, අවසන් මහා තරගය, පල්ලෙකැලේ දී

තරගාවලිය මේ වසරේ ජනවාරියේ පළමු වරට ඇරඹි අතර එතැන් සිට පෙබරවාරි 19 වැනිදා දක්වා පළමු වටය ක්‍රියාත්මක වූවා. එම වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දිනා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් ව සිටිනවා. ඔවුන් සහභාගි වූ තරග 4න් තරග 2ක් ජයග්‍රහණය කරමින් සහ නොවිසඳුණ තරග 2ක් සමඟින් ප්‍රසාද ලකුණු 51.68ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවෙනවා.

එහි දෙවැනි ස්ථානය හිමි වෙන්නේ මහනුවර කණ්ඩායමටයි. ඔවුන් සහභාගී වූ අතර 4න් තරගයක් ජයග්‍රහණය කරමින්, තරගයක් පරාජය වෙමින් සහ අනෙක් තරග 2 විසඳුමකින් තොරව අවසන් කරමින් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 49.695ක්.

යාපනය ක්‍රීඩකයෝ ද මහනුවර කණ්ඩායම සේ ම තරග අවසන් කරමින් ප්‍රසාද ලකුණු 37.63ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ තෙවැනි අසුනට හිමිකම් කියනවා.

ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය දිනා සිටින්නේ දඹුලු කණ්ඩායමයි. ඔවුන් සහභාගී වූ තරග හතර නිමා කරන්නේ නොවිසඳුණ තරග සේ යි. ඒ අනුව ඔවුන්ට හිමි ව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 35.155ක්.

ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ අවසන් ස්ථානය හිමි ව තිබෙන්නේ කොළඹ කණ්ඩායමටයි. ඔවුන් සහභාගී වූ තරග 4න් 2ක් පරාජය වෙමින් සහ ඉතිරි තරග 2 නොවිසඳුණ තරග සේ අවසන් කරමින් ලබා ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 16.955ක්.

මේ වෙද්දී තරගාවලියේ අවසන් වූ පළමු අදියරේ පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන පවන් රත්නායකයි. ඔහු යාපනය කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 240ක් සහ කොළඹ කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ශතකයක් ද සමඟින් ලකුණු 510ක් ලබා සිටිනවා.

ඔහු පසුගියදා නිමා වූ National Super League එක්දින සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් තරගයේ දී ද ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය දඹුලු කණ්ඩායමේ ම සොනාල් දිනූෂ සතු කරගෙන සිටිනවා. එහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 451ක් වන අතර මෙහි තෙවැනි ස්ථානය හිමි වෙන්නේ ද එම කණ්ඩායමේ ම කමිඳු මෙන්ඩිස් වෙතයි. ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 360ක්.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් ලෙසින් සමව අසුන් ගැනීමට ගාලු පන්දු යවන්නෝ දෙදෙනෙක් සමත් ව සිටිනවා. ඒ නිශාන් පීරිස් සහ නිමේෂ් විමුක්ති. ඔවුන් දෙදෙනා ලබා ඇති කඩුලු ප්‍රමාණය 20ක්.

මේ අතුරින් දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්ගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 47කට දවා ගත් කඩුලු 6යි. වමතින් දඟ පන්දු යවන නිමේෂ් විමුක්ති යාපනය කණ්ඩායමට එරෙහි ව ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් තම හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය කඩුල 18ක් ලබා සිටින මහනුවර කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන අශේන් ඩැනියෙල් සතු කරගෙන සිටිනවා.

තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් ලෙස දඹුල්ල කණ්ඩායම අභිෂේක ලැබූ අතර ගාලු ක්‍රීඩකයෝ අනුශූරතාව දිනා ගත්තා.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<