2022 ආරාධිත විස්සයි විස්ස ලීගයේ හොඳම කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

292

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) SLC Reds කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින් අවසන් වුනා.

එම තරගාවලිය තුල හොඳින්ම දස්කම් දක්වමින් කැපී පෙනුණ ක්‍රීඩකයින් ඒ අතරින් හොඳම කණ්ඩායම ThePapare.com තේරුවා.

කුසල් මෙන්ඩිස් (නායක)

තරග 4 | ලකුණු 206 | ප්‍රහාරාත්මක වේගය – 123.35 | වැඩිම ලකුණු 86

SLC Reds ශූරතාවය දක්වා මෙහෙයවීමට කුසල් මෙන්ඩිස් හට හැකියාව ලැබුණා. එහි දී ඔහු නායකයෙක් ලෙස සහ පිතිකරුවෙක් ලෙස තරගාවලිය පුරාවට හොඳින් දස්කම් අතරට පැමිණීමට සමත් වුනා.

අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීම වෙනුවෙන් පැවැත්වුණු තීරණාත්මක තරගයේ දී SLC Blues කණ්ඩායමට එරෙහිව පන්දු 60ක දී වේගවත් ලකුණු 86ක් ලබාගෙන දස්කම් දැක්වීමට මෙන්ඩිස් සමත් වුනා.

ලසිත් කෲස්පුල්ලේ

තරග 4 | ලකුණු 113 | ප්‍රහාරාත්මක වේගය – 129.88 | වැඩිම ලකුණු – 54

කුසල් මෙන්ඩිස් සමඟ Reds කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ ලසිත් ඔවුන්ගේ කණ්ඩායමේ ආරම්භක සබඳතාවය සාර්ථක කර ගනිමින් සැම විටම ඔවුන්ගේ කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වුනා.

නිරෝෂන් දික්වැල්ල

තරග 3 | ලකුණු 103 | ප්‍රහාරාත්මක වේගය – 122.61 | වැඩිම ලකුණු – 76*

වමතින් පිතිකරණයේ ප්‍රහාරාත්මක පිතිකරු නිරෝෂන් දික්වැල්ල SLC Greens කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු අතරට පිවිසි පිතිකරුවා බවට පත්වුනා. පන්දු 56ක් තුල ලකුණු 76ක් ලබාගෙන SLC Reds කණ්ඩායමට එරෙහිව දැක්වූ පිතිකරණ දස්කම මේ තරගාවලියේ තරගයක වාර්තා වුනු හොඳම පුද්ගලික පිතිකරණ දස්කමයි. එසේම මේ කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම හිමිවන්නේ ද දික්වැල්ලටයි.

තනුක දාබරේ

තරග 3 | ලකුණු 104 | ප්‍රහාරාත්මක වේගය – 140.54 | වැඩිම ලකුණු – 66

මෙන්ඩිස්, කෲස්පුල්ලේ, දික්වැල්ල මේ කණ්ඩායම තුල සිටින නිසා තනුක දාබරේ හට මේ කණ්ඩායම තුල අංක 4 ස්ථානයෙන් ක්‍රීඩා කිරීමට සිදු වෙනවා. තරගාවලියේ සිව්වැනි වැඩිම ලකුණු ලාභියා වුනු දාබරේ 140කට වඩා වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන පිතිකරණයේ නිරත වීම කැපී පෙනුණා. Greys නියෝජනය කළ දාබරේ Greens කණ්ඩායමට එරෙහිව පන්දු 40ක දී ලබා ගත් ලකුණු 66 ඉනිම දාබරේ දියත් කළ ඉනිම් අතර වඩාත් කැපී පෙනුණු ඉනිම වුනා.

වනිඳු හසරංග

තරග 4 | ලකුණු 99 | වැඩිම ලකුණු 69 | කඩුලු 3 | හොඳම දස්කම 2/18

දකුණතින් පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මේ තරගාවලිය තුල පිතිකරුවෙක් ලෙස වඩාත් කැපී පෙනුණා. ජාතික කණ්ඩායම තුල බොහෝ විට පළමු පිතිකරණ ස්ථාන 6 තුල ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන හසරංග මේ තරගාවලිය තුල පළමු පිතිකරණ ස්ථාන 5 ඇතුළත ක්‍රීඩා කිරීම ඔහුගේ පිතිකරණ දස්කම් පිළිබඳව වඩාත් වැඩි විශ්වාසයක් ඇති කරගැනීම සඳහා හසරංගට විශාල සවියක් වුනා. Blues කණ්ඩායමට එරෙහිව පන්දු 41ක් තුල ලබාගත් ලකුණු 69 මෙවර තරගාවලිය තුල හසරංග දැක්වූ හොඳම පිතිකරණ දස්කමයි.

අශේන් බණ්ඩාර

තරග 4 | ලකුණු 134 | ප්‍රහාරාත්මක වේගය 117.54 | හොඳම ඉනිම 40*

මෙන්ඩිස්ට පමණක් දෙවැනි වෙමින් පිතිකරණයෙන් දස්කම් දැක්වූ Blues ක්‍රීඩක බණ්ඩාර ඔහුට ලැබුණු සෑම අවස්ථාවක දී ම හොඳින් ලකුණු අතරට පැමිණියා. Blues මැදපෙළ සවිමත් කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් දායක වූ බණ්ඩාරගේ එම දස්කම් Blues කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා එන්නට විශාල සවියක් වුනා.

සුමින්ද ලක්ෂාන්

තරග 4 | කඩුලු 5 | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 17.20 | පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය 6.14

තරගාවලියේ තෙවැනි වැඩිම කඩුලු ලාභියා වුනු ලක්ෂාන් මේ තරගාවලිය තුල Blues වෙනුවෙන් හොඳම තුන් ඉරියව් දස්කම් දැක්වූ ක්‍රීඩකයා බවට පත්වුනා. පිතිකරුවෙක් ලෙස ඔහුට විශාල ඉනිම් වෙත යාමට හැකියාව නොලැබුණු නමුත් ඔහුට ලැබුණු සෑම අවස්ථාවක දී ම ඔහු පිතිකරණයෙන් සිය කණ්ඩායම වෙත අවශ්‍ය දායකත්වය ලබා දුන් අතර නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් පන්දු යැවීමෙන් ඉතාමත් අගනා සහයෝගයක් ලබා දුන්නා.

චාමික කරුණාරත්න

තරග 4 | කඩුලු 4 | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 23.25 | පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය 7.54

Blues වෙනුවෙන් වේගපන්දු යවන්නෙක් ලෙස හොඳින්ම සාර්ථක වූ ක්‍රීඩකයා වුනේ කරුණාරත්නයි. ඔහුට පිතිකරණයෙන් වැඩි දායකත්වයක් දැක්වීමට හැකියාව නොලැබුණු නමුත් පන්දු යවන්නෙක් ලෙස ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය දායකත්වය සෑම විටකම ලබා දීමට ඔහුට හැකියාව ලැබුණා. Greys කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට කඩුලු 2ක් දවා ගැනීම ඔහු මේ තරගාවලිය තුල දැක්වූ හොඳම පන්දු යැවීමේ දස්කමයි.

මහීෂ් තීක්ෂණ

තරග 4 | කඩුලු 5 | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 17.60 | පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය 5.86

හසරංග හට පන්දු යැවීමෙන් වැඩි දෙයක් සිදු කිරීමට නොහැකි වුනු නමුත් Reds කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ බල ඇණිය සවිමත් කිරීමට මහීෂ් තීක්ෂණ හට හැකියාව ලැබුණා. Powerplay අවස්ථාවන් තුල පන්දු යවමින් සිය ප්‍රතිවාදීන්ව හොඳින් පාලනය කිරීමට තීක්ෂණ සමත් වුනු අතර ඔහු තරගාවලිය අවසානයේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැනි තැන දිනා ගත්තා.

අසිත ප්‍රනාන්දු

තරග 4 | කඩුලු 10 | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 11.00 | පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය 6.87

මේ තරගාවලිය තුල දඟපන්දු යවන්නන් වඩාත් හොඳින් කැපී පෙනුණු නමුත්, අසිතගේ වේගපන්දු යැවීම හමුවේ පිතිකරුවන් බොහෝමයක් දෙනා අසරණ වුනා. තරගාවලියේ හොඳම ක්‍රීඩකයා බවට පත්වුණු අසිත ශූරතාවය දිනා ගත් Reds කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක්.

ප්‍රවීන් ජයවික්‍රම

තරග 4 | කඩුලු 7 | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 15.28 | පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය 6.68

තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වුනු ජයවික්‍රම, Blues කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා ලෙස දස්කම් දැක්වූවා. වමතින් දඟපන්දු යවන ඔහු ඉතාමත් හොඳ පාලනයක් ඇතිව සිය ප්‍රතිවාදී පිතිකරුවන්ව ඉතාමත් හොඳ මට්ටමකින් පාලනය කිරීමට සමත් වුනා.

Greys කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට කඩුලු 3ක් දවාගෙන එම තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට ජයවික්‍රම සමත් වුනා. ඔහු තරගාවලිය අවසානයේ දී තරගාවලියේ හොඳම පන්දු යවන්නා බවට ද පත්වුනා.

12 වැනි ක්‍රීඩකයා – පුලින තරංග

තරග 3 | කඩුලු 4 | කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 11.00 | පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 5.61

පා දඟපන්දු යවන ක්‍රීඩක පුලින තරංග මේ තරගාවලිය තුල තුන් ඉරියවෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. Greys සහ Greens අතර තරගයේ දී ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් සිටින Greens කණ්ඩායමට එරෙහිව ලකුණු 12කට කඩුලු 3ක දක්ෂතාවයක් පෙන්නුම් කළා. එම දස්කම නිසාවෙන් එක් අවස්ථාවක අවසන් මහා තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට ද ඔවුන්ට හැකියාවක් ලැබුණා.

ThePapare.com තෝරපු මේ කණ්ඩායම ගැන ඔබේ අදහස මොකක්ද?

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<