Home Sinhala මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Reds ශූරතාවයට

මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Reds ශූරතාවයට

SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලිය 2022

648

2022 SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) SLC Blues සහ SLC Reds කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගන්නට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Reds සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • SLC Reds – කුසල් මෙන්ඩිස් (නායක/කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආරච්චිගේ, ලහිරු මදුශංක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු.
  • SLC Blues – ලහිරු උදාර, ලහිරු සමරකෝන්, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා (නායක), ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම.

Blues ආරම්භක පිතිකරුවන් ලෙස ලහිරු උදාර සහ සමරකෝන් පිටියට පිවිසි අතර ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස සමරකෝන් ලකුණු 6කට දැවී ගියා. ඉන්පසුව පිටියට පිවිසි කඩුලු රකින පිතිකරු සමරවික්‍රම ලකුණු 10කට දවා ගන්නට තීක්ෂණ සමත් වුනා.

ආබාධයක් නිසා මේ තරගයට ක්‍රීඩා නොකළ Blues නිත්‍ය නායක චරිත් අසලංකගේ නායකත්වයේ වගකීම ලබා ගත් ධනංජය ද සිල්වා ලකුණු 25ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළට යම් සහනයක් රැගෙන ආවා. ධනංජයගේ එම ඉනිමට 4 පහර 4ක් ඇතුළත් වුනා.

ආරම්භක පිතිකරු උදාර පන්දු 40ක දී 4 පහර 4ක් සමඟින් ලකුණු 37ක් රැස්කිරීමට සමත් වුනේ මේ තරගයේ ඔවුන්ගේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින්.

ජනිත් ලියනගේ වේගපන්දු යවන ක්‍රීඩක අසිතගේ පන්දුවක් හමුවේ ලකුණු 12කට දැවී ගිය අතර චාමික හට ද මේ තීරණාත්මක තරගය තුල ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

Blues ලකුණු සටහන සවිමත් කිරීම වෙනුවෙන් හුදකලා සටනක නිරත වුනු බණ්ඩාර පන්දු 30ක දී නොදැවී ලකුණු 40*ක් ලබා ගැනීමට සමත් වූ අතර එම සටන්කාමී ඉනිම නිසාවෙන් Blues කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 136ක අභියෝගයක් සිය ප්‍රතිවාදීන්ට ලබා දීමට හැකි වුනා.

පන්දු යැවීමේ දී තීක්ෂණ සහ අසිත කඩුලු 2 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Reds ආරම්භක පිතිකරුවන් වුනු කෲස්පුල්ලේ සහ නායක මෙන්ඩිස් නැවතත් ආරම්භක පිතිකරුවන් ලෙස ඔවුන්ගේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

කෲස්පුල්ලේ 6 පහරක් සහ 4 පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී දැවී ගිය අතර ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වූ රාජපක්ෂ හට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 9ක් පමණයි. තුන්වැනි කඩුල්ල ලෙස කමිඳු ලකුණු 18කට දැවී ගියා.

කෙසේ නමුත් නායකත්වයේ වගකීම ඉතාමත් හොඳින් ඉටු කළ කුසල් මෙන්ඩිස් තීරණාත්මක අවසන් මහා තරගයේ දී අගනා ඉනිමක් දියත් කරමින් පන්දු 45ක් තුල 4 පහර 4ක් සහ එක් 6 පහරක් සිය ඉනිමට ඇතුළත් කරගනිමින් නොදැවුණු ලකුණු 56*ක් ලබා ගැනීමට සමත් වුනා.

කමිඳුගේ දැවී යාමත් සමඟම පිටියට අවතීර්ණ වුනු වනිඳු ද කුසල් මෙන්ඩිස්ට සහායක් වෙමින් පන්දු 14ක දී වේගවත්ව නොදැවුණු ලකුණු 24*ක් රැස්කිරීමට සමත් වූ අතර එම ඉනිම නිසා මෙන්ඩිස්ගේ පීඩනය ද තරමක් දුරකට ලිහිල්ව ගියා. වනිඳුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් වුනා.

අවසානයේ දී Reds පන්දුවාර 16යි පන්දු 5ක දී කඩුලු 3ක් පමණක් දැවී Blues ලබා දුන් ලකුණු 136ක ඉලක්කය පහසුවෙන්ම හඹා යන්නට සමත් වුනා.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස් (SLC Reds)

තරගාවලියේ වීරයා – අසිත ප්‍රනාන්දු (SLC Reds)

Result


Blues
136/6 (20)

Reds
137/3 (16.5)

Batsmen R B 4s 6s SR
Lahiru Udara c Matheesha Pathirana b Lahiru Madushanka 37 40 4 0 92.50
Lahiru Samarakoon lbw b Maheesh Theekshana 6 9 1 0 66.67
Sadeera Samarawickrama c & b Maheesh Theekshana 10 6 2 0 166.67
Dhananjaya de Silva st Kusal Mendis b Dunith wellalage 25 19 4 0 131.58
Ashen Bandara not out 40 30 4 0 133.33
Janith Liyanage c Asitha Fernando b Lahiru Madushanka 12 14 0 0 85.71
Chamika Karunaratne lbw Asitha Fernando b 2 2 0 0 100.00


Extras 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0)
Total 136/6 (20 Overs, RR: 6.8)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 22 2 5.50
Asitha Fernando 4 0 31 2 7.75
Dunith wellalage 4 0 27 1 6.75
Matheesha Pathirana 2 0 20 0 10.00
Wanindu Hasaranga 4 0 24 0 6.00
Lahiru Madushanka 2 0 10 1 5.00


Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Dilshan Madushanka b Praveen Jayawickrama 25 15 2 1 166.67
Kusal Mendis not out 56 45 4 1 124.44
Bhanuka Rajapakse lbw b 9 10 1 0 90.00
Kamindu Mendis c Suminda Lakshan b Praveen Jayawickrama 18 18 0 1 100.00
Wanindu Hasaranga not out 24 14 4 0 171.43


Extras 5 (b 0 , lb 0 , nb 1, w 4, pen 0)
Total 137/3 (16.5 Overs, RR: 8.14)
Bowling O M R W Econ
Dilshan Madushanka 1 0 18 0 18.00
Praveen Jayawickrama 4 0 34 2 8.50
Chamika Karunaratne 2.5 0 18 0 7.20
Pramod Madushan 2 0 23 0 11.50
Dhananjaya de Silva 4 0 19 0 4.75
Suminda Lakshan 3 0 25 1 8.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<