ආරක්ෂක සේවා කණ්ඩායමට හොකී ශූරතා ද්විත්වයක්

152

ජාතික ශූරතා ජ්‍යේෂ්ඨ හොකී තරගාවලියේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග ඊයේ (21) කොළඹ ඇස්ට්‍රෝ ටර්ෆ් පිටියේ දී පැවැත්විය.

එහි කාන්තා හා පිරිමි ශූරතාවයන් ද්විත්වයම ජයග්‍රහණය කිරීමට ආරක්ෂක සේවා කණ්ඩායම සමත් විය. ආරක්ෂක සේවා කණ්ඩායම නියෝජනය කරන ලද්දේ යුද හමුදා, ගුවන් හමුදා හා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්  විසිනි.

දිනූක සහ තිළිණි අම්බලන්ගොඩ බැඩ්මින්ටන් උරුමය රැක ගනී

දේශීය බැඩ්මින්ටන් පිටියේ අම්බලන්ගොඩ ක්‍රීඩකයින් විසින් මෙතෙක් රැකගෙන ආ උරුමය..

පිරිමි අවසන් තරගය

ආරක්ෂක සේවා කණ්ඩායම හා රාජ්‍ය සේවා කණ්ඩායම

රාජ්‍ය සේවා කණ්ඩායම තරගයට අවතීර්ණ වීමටත් පෙරාතුව තරගයේ ආරම්භක මිනිත්තුවේ දී ම ආරක්ෂක සේවා කණ්ඩායමේ එල්. වීරසූරිය තරගයේ පළමු ගෝලය ලබා ගත්තේය.

පසුව තරගයේ වැඩි වාසිය තබාගෙන ක්‍රීඩා කළ ආරක්ෂක සේවා කණ්ඩායම තරගයේ 8 වන හා 10 වන මිනිත්තුවේ දී ගෝල වාර්තා කරගෙන ගෝල 3-0ක් ලෙස පෙරමුණ ලබා ගත්තේය. එම ගෝල ද්විත්වය වාර්තා කළේ ජයසුන්දර හා සුරේෂ් විසිනි.

තරගයේ පළමු අර්ධය තුළ රාජ්‍ය සේවා කණ්ඩායම ගෝල කිහිපයක්ම වාර්තා කර ගැනීමට උත්සාහ කළත්, ආරක්ෂක සේවා කණ්ඩායමේ දක්ෂ ගෝල රැකීම නිසා එම අවස්ථා සියල්ලම ව්‍යාර්ථ විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ආරක්ෂක සේවා කණ්ඩායමට වැඩි ගෞරවය හිමිකර දෙමිනි.

දෙවන අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ දෙපිළම කරට කර සටනක නිරත වෙමින් හොඳින් ක්‍රීඩා කළත්, සිය උපක්‍රමශීලීත්වය තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ප්‍රදර්ශනය කළ ආරක්ෂක සේවා කණ්ඩායමේ විජේසිංහ හා සිල්වා තවත් ගෝල 2ක් ලබාගෙන තරගය නිමා කරන ලදි. තරගයේ අවසන් ලකුණු තත්ත්වය ගෝල 5-0ක් විය.

කාන්තා අවසන් තරගය

ආරක්ෂක සේවා කණ්ඩායම හා කොළඹ හොකී සංගම් කණ්ඩායම

මෙම තරගයෙන් ගෝල 6-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ආරක්ෂක සේවා කණ්ඩායම සමත් විය. ඔවුන් මෙම තරගාවලිය අවසන් කළේ එකදු තරගයක් හෝ පරාජයට පත්නොවෙමිනි. අයි. වීරබාහු හා එම්. ජයනෙත්ති පිළිවෙළින් ගෝල 3ක් හා ගෝල 2ක් වාර්තා කර ගන්නා ලදි. ඊට අමතරව පී. උපේක්ෂා විසින් තවත් එක් ගෝලයක් ආරක්ෂක සේවා කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළාය.

එසේම වෙළඳසේවා හොකී සංගම් කණ්ඩායම ගෝල 6-1ක් ලෙස කොළඹ හොකී සංගම් කණ්ඩායම පරාජය කරමින් පිරිමි අංශයේ තෙවන ස්ථානය දිනා ගත්තේය. කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනාගත්තේ මහනුවර හොකී සංගම් කණ්ඩායම විසිනි. එහි දී ඔවුන් හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජයට පත්වූයේ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම යි.

පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩී. කුලතුංග ජයග්‍රහණය කරන විට කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජී. දමයන්ති සම්මාන දිනා ගත්තේය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<