පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග -2021

2164
SL vs USA Women's World Cup

2021 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඇමරිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයෙන් ලකුණු 200ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ (19) සමත් වුනා.

කොරෝනා වසංගතය නිසාවෙන් ක්‍රීඩා කටයුතු නතර කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගි නොවූ අතර ඔවුන් ජාත්‍යන්තර තලයේ කණ්ඩායමක් සමඟ තරග කළේ දින 600කට පසුව වීම විශේෂත්වයක්.

Harare හීදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 326ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව වූ උප නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 60ක් තුළ ලකුණු 54ක් රැස්කළා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 46ක් සහ අමා කාංචනා 32ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු පන්දු 28ක් තුළ වේගවත් ලකුණු 41ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇමරිකානු කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 46ක් හමුවේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි. ඇමරිකානු ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ ඉනෝකා රණවීර ලකුණු 26කට කඩුලු 3යි.

ඉනෝකාට අනගි සහයක් ලබා දුන් 20 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා සචිනි නිසංසලා ලකුණු 11ක් තුළ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූ අතර අචිනි කුලසූරිය සහ නිලක්ෂි ද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: 326/5 (50) – හර්ෂිතා සමරවික්‍රම 54 (60), නිලක්ෂි ද සිල්වා 46 (47), චමරි අතපත්තු 41(28), Uzma Ifthikar 1/32.

ඇමරිකානු කාන්තා කණ්ඩායම: 126/10 (50) – Lisa Ramjith 68 (125), Sindu Sriharsha 20 (36), ඉනෝකා රණවීර 3/26, සචිනි නිසන්සලා 2/11.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<