මෙදා අද්විතීය ලැයිස්තුවට ගිය මහේල සහ පොලොක්ගේ එදා වලිය

3561
Getty Images/Matthew Lewis-ICC

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද්විතීය ක්‍රීඩකයින් ගේ ලැයිස්තුවට මහේල ජයවර්ධන සහ හිටපු දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් එක් කිරීමත් සමඟ මේ විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනා එකිනෙකා ගැටුණ අමුතු සිදුවීමකට අපේ මතකය දිව යනවා.

2003 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් ඉදිරියේ ශ්‍රී ලාංකික කඩුලු රකින්නා කුමාර් සංගක්කාර එල්ල කළ වාග් ප්‍රහාරය කිසිවෙකුට අමතක වන්නේ නැහැ.

නමුත් මේ වචන හරඹයට පදනම වැටෙන්නේ 2002/03 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුරයි.

බොහෝ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විදෙස් රටවල දී වාග් ප්‍රහාරයන්ට ලක්වීම අරුමයක් වුනේ නැහැ. නමුත් ඊට පෙරළා ප්‍රතිප්‍රහාර දීමට ශ්‍රී ලාංකිකයින් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වූ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙම 2002/03 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හඳුන්වන්න පුළුවන්.

එම සංචාරයේ සෙන්චූරියන් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අභියසට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ ජොහැන්ස්බර්ග් නුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී අවමන් සහගත පරාජයක් ලැබීමෙන් අනතුරුවයි.

දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ එක් අවස්ථාවක ශෝන් පොලොක්ගේ කෙටි පන්දුවට මහේල ජයවර්ධන එල්ල කළ හුක් පහර පිත්තේ ඉහළ දාරයේ වැදී මාක් බවුචර්ගේ හිසට උඩින් කඩුල්ල පිටුපසින් හතරේ සීමාව පසු කළා.

ඒ සමඟම දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වැඩියෙන් ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

සාමාන්‍යයෙන් මහේල හතරේ හෝ හයේ පහරක් එල්ල කළ විට පන්දු යවන්නාගේ අන්තයට දිව ගොස් සීමාව ලකුණු කර පැමිණීම අප කාටත් සුලබ දසුනක්.

නමුත් මෙවර මහේල අනෙක් අන්තයට දිව එනතෙක් දකුණු අප්‍රිකානු නායකයා තණතීරුව තුළ නොඉවසිලිමත්ව බලා සිටියා. ක්ෂණිකවම මහේලගේ කර වටා අත යැවූ පොලොක් හිස අත ගාන ස්වරූපයකින් මහේලගේ හෙල්මටය සොලවන්නට වුනා.

වහාම පොලොක් ඉවතට තල්ලු කළ මහේල විනිසුරු ඩැරල් හාපර් දෙසට හැරී ඉකුත් සිදුවීම ගැන සිය අප්‍රසාදය පළ කළා.

ඒ අවස්ථාවේ දී විස්තර විචාරකයින් ලෙස කටයුතු කළ  දකුණු අප්‍රිකානුවන් වහාම පොලොක්ගේ අකටයුත්ත සාධාරණීකරණය කරන්නට පසුබට වුනේ නැහැ.

එය විහිළුවට කළ දෙයක් ඔවුන් පැවසුවා.

නමුත් මෙම සිදුවීම මහේලගේ මානසික ඒකාග්‍රතාවය යම් තාක් දුරකට බිඳ දමන්නට සමත් වුනා.

ඉකුත් සිදුවීමෙන් පන්දු දෙකක් ගත වන තැන ලෙහෙසියෙන්ම ලබා ගැනීමට තිබූ ලකුණකට ගිය මහේල සිය කඩුල්ල බේරා ගත්තේ අනූ නමයෙන්.

ඉතා පහසු ලකුණක් වුව ද දිව යන අතරවාරයේ ඔහු නැවත වතාවක් ශෝන් පොලොක් සමඟ වචන හරඹයකට පැටලුණා.

මේ අතරවාරයේ වේගයෙන් ස්ක්වෙයාර් ලෙග් කලාපයට දිව ගිය කඩුලු රකින ක්‍රීඩක මාක් බවුචර් පන්දුව රැගෙන පන්දු යවන්නාගේ අන්තයට දමා ගැසුවා. එය කඩුල්ලට ඉතාම සමීපයෙන් පියඹා ගියේ මහේලගේ වාසනාවකට.

ඉක්මනින් මෙම ගැටුම සමථයට පත් කරන්නට තරග තීරක ගුන්දප්පා විශ්වනාත් ඇතුළු බලධාරීන් සමත් වුනා.

මීට පෙර අවස්ථාවක දීත් ශෝන් පොලොක් මේ ආකාරයෙන්ම ක්‍රීඩකයෙකු සමඟ රණ්ඩුවකට පැටලුණා.

2000/01 තරගවාරයේ දී බ්ලූෆොන්ටේන් නුවර දී නවසීලන්ත ක්‍රීඩක ක්‍රේග් මැක්මිලන් සමඟ ගැටුමකට මුල පිරූ පොලොක්ට සිය තරග ගාස්තුවෙන් 25%ක් පූජා කිරීමට සිදු වුනා.

මේ තරගයේ දී තවත් සුවිශේෂී සිදුවීමක් දැක ගත හැකි වුනා. දකුණු අප්‍රිකානු බිමේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කර ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නට හෂාන් තිලකරත්නට හැකියාව ලැබුණේ මේ තරගයේ දී.

එවර ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර පිතිකරණ උපදේශකයෙක් විදියට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙක් ලෙස සැලකෙන බැරී රිචර්ඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

පුහුණුවීම්වල දී හෂාන්ගේ පිතිකරණ විලාශය දුටු බැරී රිචර්ඩ්ස් හෂාන්ට දකුණු අප්‍රිකාවේ දී ලකුණක් වත් ගහන්න ලැබෙන එකක් නෑ කියලා අනාවැකියක් ප්‍රකාශ කරනවා.

නමුත්, මෙකී ටෙස්ට් තරගයේ දී හෂාන් ශතකයක් රැස් කර ගන්නවා. ඒ අවස්ථාවේ දී දෛවෝපගත ගත ලෙසින් විස්තර විචාරයේ යෙදෙමින් සිටියේ බැරී රිචර්ඩ්ස්.

සෙන්චූරියන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක සනත් ජයසූරිය සිටියේ ආබාධයකට ලක් වී කණ්ඩායමෙන් ඉවත.

තරගය පුරාවටම මාවන් අතපත්තුගේ නායකත්වය ඉතා උසස් මට්ටමින් කැපී පෙනුණා. එමෙන්ම මෙම තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන නොපෙනන මානයට ගෙන එන්නට දිල්හාර ප්‍රනාන්දුගේ වේගපන්දුවට හැකියාව ලැබුණා.

තරගයේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ඉනිමේ ලබා දුන් ලකුණු 121ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව වරෙක කියවුණේ 73/6ක් ලෙසින්. දිල්හාර ප්‍රනාන්දුගේ පන්දු හමුවේ දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරුවන් ක්‍රීඩා කළේ ඉතාම අපහසුතාවයකින්. එක්තරා ආකාරයකින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අපට එය නුහුරු නුපුරුදු දසුනක් වුනා.

මේ තරගයේ ජයග්‍රහණයට අවැසි අවසන් ලකුණු කිහිපයේ පන්දුවට පහර දෙමින් සිටියේ දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් සහ කඩුලු රකින මාක් බවුචර්.

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ යෙදී සිටි කුමාර් සංගක්කාර සිය වාග් ප්‍රහාරය දැඩි කරමින් සිටි මොහොතක්.

ශෝන් ගණන් ගන්න එපා. බල්ලෝ කොහොමත් කෑ ගහනවා”, දකුණු අප්‍රිකානු නායකයාගේ උදව්වට පැමිණි බවුචර් පැවසුවා.

මහත්තයෝ, බල්ලෝ කෑ ගහනවා කියලා අපි අහල නෑ උන් බුරනවා කියල නම් අහල තියනවා”.

 ශ්‍රී ලංකා කඩුලු රකින්නා ඇඟට පතට නොදැනී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ක්‍රිකට් පිටිය තුල දී අතිශයින්ම උද්වේගකර ක්‍රීඩා රටාවකට කැමැත්තක් දැක්වූ මහේල ජයවර්ධන සහ ශෝන් පොලොක් දෙදෙනාම සිය කණ්ඩායම් වෙනුවෙන් දැක්වූ දායකත්වය අති විශාලයි.

එම දායකත්වය නිසාම මේ විශිෂ්ටයින් දෙදෙනාම මෙවැනි ලැයිස්තුවකට අනිවාර්යයෙන්ම එක් විය යුතුයි. එමෙන්ම මෙම අද්විතීය ක්‍රීඩකයින් දෙදෙනාට සුබ පැතුම් එක් කර සිටින්නටත් ලියුම්කරු මෙය අවස්ථාවක් කර ගන්නවා.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<