SAG හොල්ලපු ක්‍රීඩිකාවන් සාමාන්‍ය පෙළත් ඉහළින්ම සමත් වෙයි

132
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ ලැබීමෙන් අනතුරුව (වමේ සිට දකුණට: ඇයිලා චිට්ටි, චමෝදි කරුණාරත්න, ඇලේනා සෙනවිරත්න, ගංගා සෙනවිරත්න, චතුනි කරුණාරත්න, යෙහානි කුරුප්පු)

2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රතිඵල ඊයේ (27) පස්වරුවේ දී නිකුත් කළ අතර, ගිය වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් දිනා ගත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු විශිෂ්ට සාමාර්ථ සමඟ සාමාන්‍ය පෙළ කඩඉම ජයග්‍රහණය කරන්නට සමත්ව තිබීම සතුටට කරුණක්. 

ක්‍රීඩකයින්ගේ ජාතික සිහින සියල්ල බොඳ වෙයි

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය නිසා මෙරට උද්ගත වී තත්වය සලකා බලා ……

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නේපාලය කේන්ද්‍ර කර ගනිමින් පැවති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී දස්කම් පෑ ක්‍රීඩිකාවන් වන මොවුන් සියලු දෙනා එම මාසයේම පැවති සාමාන්‍ය පෙළ විභාගය සඳහා ද සාර්ථකව මුහුණ දෙන ලදි.

SAG තරගාවලියේ “Fencing” ක්‍රීඩාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත් මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ චතුනි කරුණාරත්න, විශිෂ්ට සාමාර්ථ (A) නවයක් සමඟින් ඉතා උසස් ලෙස සාමාන්‍ය පෙළ කඩඉම ජයග්‍රහණය කරන්නට සමත්ව ඇත.

තවද එම ඉසව්වෙන්ම ලෝකඩ පදක්කමක් දිනා ගත් ඇගේ නිවුන් සොහොයුරිය වන මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේම ඉගනුම ලබන චමෝදි කරුණාරත්න A සාමාර්ථ අටක් සහ B සාමාර්ථයක් සමඟින් සාමාන්‍ය පෙළ කඩඉම ජයග්‍රහණය කරන්නට සමත්ව ඇත. 

SAG තරගාවලියේ “Tennis” ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ කොළඹ කාන්තා විද්‍යාලයේ ඇලේනා සෙනවිරත්න A සාමාර්ථ හතක් සහ B සාමාර්ථ දෙකක් සමඟින් සාමාන්‍ය පෙළ කඩඉම ජය ගැනීමට සමත් වී ඇත.

SAG තරගාවලියේ මේසපන්දු ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ කාන්තා විද්‍යාලයේ ඇයිලා චිට්ටි ද සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව අවසන් කරන්නේ A සාමාර්ථ පහක්, B සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථ දෙකක් ලබා ගනිමිනි. 

එමෙන්ම “Squash” ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් කොළඹ විශාඛා විද්‍යාලයේ යෙහානි කුරුප්පු විසින් A සාමාර්ථ හතරක්, B සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථයක් ලබා ගැනීමට සමත්ව ඇත.

A සාමාර්ථ හතරක්, B සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථ දෙකක් සමඟින් සාමාන්‍ය පෙළ කඩඉම ජය ගැනීමට, SAG ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග නියෝජනය කරමින් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් කොළඹ විශාඛා විද්‍යාලයේ ගංගා සෙනවිරත්න සමත් වී ඇත.

ලාංකික අභිමානය ලොවට ගෙන යමින් ක්‍රීඩාවෙන් මෙන්ම තම අධ්‍යාපනයෙන් ද ඉහළ දස්කම් දැක්වූ මෙම ක්‍රීඩිකාවන්ගේ ඉදිරි බලාපොරොත්තු ද සාර්ථක වේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<