LPL සන්නාම තානාපති ලෙස ශ්‍රීමත් Vivian Richards එක්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

181

එළඹෙන දෙසැම්බර් මස ආරම්භ වීමට නියමිත ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ක්‍රිකට් ලෝකයේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන ශ්‍රීමත් Vivian Richards මහතා එක්ව තිබෙනවා. 2022 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය දෙසැම්බර් 06 වැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Vivian Richards ඔහුගේ මුළු ක්‍රිකට් දිවිය පුරාවටම විශිෂ්ඨ දස්කම් දක්වා ඇති අතර ඔහුට කවදත් ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් ප්‍රශංසාව සහ ආදරය හිමි වුනා. තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු මහත් උනන්දුවෙන් පසුවනවා.

“LPL තුන්වන අදියරයේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ දක්ෂතා එළිදක්වන බව කියන්නට කැමැතියි. මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලත්වය අපි දුටුවා. එම ජයග්‍රහණය සඳහා යම් දායකත්වයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ලැබුණා. මෙම තරගාවලියේ පසුගිය තරගාවලි දෙක මා දැක තිබෙනවා. එම තරගාවලිවල දී ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය උසස් මට්ටමක තිබුණා. ඉදිරි තරගාවලියේ දී ද ක්‍රීඩකයින් එය පවත්වා ගෙන යනු ඇතැයි මට විශ්වාසයි.” යනුවෙන් Vivian Richards මහතා පැවසුවා.

“මට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් විශාල ආදරයක් ලැබෙනවා. මම මේ රටට ආදරෙයි. විශේෂයෙන්ම මේ රට සහ එහි ජනතාව පසුගිය කාලයේ දුෂ්කර කාලයන් ජයගත්තා. එළඹෙන LPL තරගවාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම ගැන මම ඇත්තෙන්ම සතුටට පත්වෙනවා. එළඹෙන තරගවලිය ද මේ ශ්‍රේෂ්ඨ රටේ ජනතාවගේ මුහුණුවලට සිනහවක් ගෙන ඒවි. එය ඉතා සාර්ථක වනු ඇතැයි මට විශ්වාසයි.”

LPL තරගාවලියේ පසුගිය අදියර දෙක විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කරගත් අතර මෙරට ක්‍රිකට් රසිකයින් ඔවුන්ගේ සුපිරි තරු නැවත ක්‍රියාත්මක වනු දැකීමට උනන්දුවෙන් පසුවනවා. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට වේදිකාවක් ලබාදීමට අමතරව සහභාගී වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව අතින් ද මෙම තරගාවලිය අති සාර්ථක වී තිබෙනවා. LPL හි සමාරම්භක සංස්කරණය රූපවාහිනිය, ඩිජිටල්-සමාජ සහ සම්ප්‍රදායික මාධ්‍ය ආයතන හරහා මිලියන 557ක සමුච්චිත ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වී තිබුණා.

කණ්ඩායම්, ක්‍රීඩකයින් සහ අනුග්‍රාහකයින්ට LPL හරහා විශාල මාධ්‍ය ආවරණයක් ලැබුණු අතර මෙරට ක්‍රිකට් රසිකයින්ට ඉහළම ජාත්‍යන්තර තරු ක්‍රීඩා කරන අයුරු දැකගත හැකි වුනා. තරගාවලියේ දෙවන අදියරය ද එවැනිම සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් වුනා.

LPL හි නිර්මාතෘ අනිල් මොහාන් මහතා ද තරගාවලියේ මීළඟ අදියර පිළිබඳව අදහස් දක්වා සිටියා.

“2022 LPL තරගාවලිය සඳහා සන්නාම තානාපතිවරයා ලෙස විශිෂ්ඨතම පිතිකරුවෙකු වන Vivian Richards මහතා සම්බන්ධ කරගැනීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. Vivian Richards වැනි අයෙකු සිටීම ලීගයේ ජනප්‍රියත්වය ඉහළ නංවන අතර මුළු ලෝකයෙන්ම ප්‍රේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට සහ මෙම තරගාවලිය ගෝලීය ක්‍රිකට් ආකර්ෂණයක් බවට පත්කිරීමේ අපගේ උත්සාහයට මේක ලොකු පිටුවහලක් වේවි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ දක්ෂතා ලීගයේ ප්‍රදර්ශනය වීම ගැන මම ඇත්තෙන්ම සතුටට පත්වෙනවා” IPG සමූහයේ සභාපති සහ LPL නිර්මාතෘ අනිල් මෝහාන් මහතා පවසනවා.

2022 LPL තරගාවලියේ තරග අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ද Vivian Richards මහතාගේ සම්බන්ධ වීම පිළිබඳව අදහස් දක්වා සිටියා.

“LPL තරගාවලියේ දී Vivian Richards අපි සමඟ සිටීම ගැන අපි සතුටු වෙනවා. ඔහු අපි ආදරය කරන ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ පුරාවෘත්තයක්. ඔහු තරගාවලියේ නියමුවා ලෙස සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෞරවයක්. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ ලංකා ප්‍රිමියර් ලීගය ජනප්‍රිය කිරීමට ඔහුගේ පැමිණීම ප්‍රමාණවත් වේවි. එය මේ ලීගයට බෙහෙවින් අවශ්‍ය තල්ලුවක් කියලා අපි හිතනවා.” සමන්ත දොඩන්වෙල පවසනවා.

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මීට වසර දෙකකට පෙර පැවති සමාරම්භක අදියරයේ සිට ඉහළට ගමන් කරන තරගාවලියකට Vivian Richardsගේ පළපුරුද්ද සහ ප්‍රවීණත්වය ඉතා වටිනවා. ඔහු ලීගයට සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි පරම්පරාව දිරිගැන්වීමට මෙන්ම නඟා සිටුවීමට ද හැකි වේවි.”

2022 LPL තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වය අපේක්ෂා කරනවා. එයට Evin Lewis, Carlos Brathwaite, Janneman Malan, Dwaine Pretorius, D’Arcy Short සහ Shoaib Malik ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් වෙනවා.

තරගාවලියේ පළමු තරගය Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් අතර හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<