සොහොන් පිටියෙන් වැඩ ආරම්භ කළ ලොව විශිෂ්ටතම ටෙස්ට් නායකත්වය

Free hit contributor – Dinesh Abeywickrama

406
Steve Waugh
Steve Waugh (Picture: www.essentiallysports.com)

ස්ටීව් වෝ (Steve Waugh) කියන්නෙ ඕස්ට්‍රේලියාවෙන් බිහිවුනු විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියල කීවොත් ඒක ඔහුට කරන අසාධාරණයක්. ඇත්තටම ඔහු දක්ෂ පිතිකරුවෙක්, පන්දු යවන්නෙක්, පන්දු රකින්නෙක් පමණක් නොව එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම නායකයා වන්නේ ද ඔහුයි.

1999 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත් වෙන ස්ටීව් වෝ 2004 දක්වා වසර 5ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනවා. ඒ කාලය තුල දී ඔහු පසුබෑමට ලක්ව තිබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම බවට පත් කරනවා.

ඔහුගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාව එකදිගට නොකඩවා ටෙස්ට් තරග 16ක් ජය ගන්නවා. අදටත් මේ වාර්තාව බිඳ හෙළන්න කිසි කෙනෙකුට හැකි වෙලා නැහැ. ටෙස්ට් තරග 57කට නායකත්වය ලබල දීලා ඉන් තරග 41ක් ජයග්‍රහණය කරා මෙහෙයවලා, 9ක් පරාජයට පත් වෙලා, තරග 7ක් ජය පැරදුමින් තොරව අවසන් කරලා, ජයග්‍රහණ ප්‍රතිශතය 71.93ක් ලෙස අදටත් ලොව පහල වුන සාර්තකම ටෙස්ට් ක්‍රිකට් නායකයා ඔහු. ඒ විතරක් නෙවෙයි 1999 ලෝක කුසලාන ජයග්‍රහණයත් ඔහු තම රටට අත්පත් කර දෙනවා.

ස්ටීව් වෝ කියන්නෙ ඉතාමත් දැඩි මානසික ශක්තියකින් හිමි නායකයෙක්. ඔහුට කිසිම ක්‍රීඩකයෙකු සමඟ පෞද්ගලික තරහක් නැතත්, පිට්ටනිය ඇතුලේ දී ඔහුට ප්‍රතිවාදියාව සැම ආකාරයකින්ම පරදල තමන්ගෙ කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවන්න ඕන කියන දැඩි අරමුණක හිටිය නායකයෙක්.

ඔහු මුලින්ම තමුන්ගෙ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය හදන්න, ආත්ම විශ්වාසය වැඩි කරන්න හරි අපූරු ක්‍රමයක් භාවිතා කරනවා.

2001 වසරෙ ‘අළු බඳුන’ කුසලානයට (Ashes series) සහභාගි වෙන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තය බලා යන අතරතුර දී ඔහු තමුන්ගේ කණ්ඩායම තුර්කිය ආසන්නයේ තියෙන ගැලිපොලි (Gallipoli Peninsula) වල පිහිටි සොහොන් පිට්ටනියකට රැගෙන යනවා.

Gallipoli Peninsula Historical Site (Picture: Wikipedia.com)

1915 පළවෙනි ලෝක යුද්ධයට නවසිලන්ත හමුදාවත් සමඟ මිත්‍ර හමුදාවක් විදිහට යුද්ධයට සහභාගි වුන 8700ක් පමණ ඕස්ට්‍රේලියානු මියගිය හමුදා විරුවන් මිහිදන් කරපු ඓතිහාසික සොහොන් පිට්ටනියකට තමයි ඔහු කණ්ඩායම රැගෙන යන්නෙ.

පැයක විතර කාලයක් ඔහු ඔහුගේ කණ්ඩායමේ සගයන්ට තමුන්ගේ අතීත වීරයන්ගේ සොහොන්කොත් අතර ඇවිද යමින් ඒ අතීත විරුවන් කරපු කැප කිරීම් සමඟ ගත කරන්න ඉඩ සලසනවා.

ඔහුට අවශ්‍ය වෙන්නෙ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, තමන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වැදගත්කම වගේම, ඔවුන්ගේ ආත්ම ශක්තිය විශ්වාසය ඔවුන් තුලම ඇති කරවන්න.

මේ අදහස ස්ටීව්ට ඇතිවෙන්නෙ, වසරේ ඕස්ට්‍රේලියානු පුරවැසියා (Australian of the year) සම්මානයෙන් පිදුම් ලැබූ Lieutenant-General Peter Cosgrove සමඟ රාත්‍රි භෝජනයකට සහභාගිව සිටින අතරතුර, හමුදාවටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් පොදු කරුණු පිළිබඳ දෙදෙනා අතර ඇතිවූ අදහස් හුවමාරුවක අතුරු ප්‍රතිඵලයක් විදිහට.

හමුදා කණ්ඩයකට වගේම ක්‍රිකට් කණ්ඩායමකටත් ප්‍රතිවාදියාට මුහුණ දීමේ දී, සූක්ෂමව සැලසුම් කිරීම, එය ක්‍රියාවට නැංවීමට පෙර කණ්ඩායමේ සියලු දෙනා අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, බැඳීම සහ සැලසුම ගැන සියලු දෙනාම අතර පවතින අවබෝධය අත්‍යාවශ්‍ය ගුණාංගයක් බව ස්ටීව් විශ්වාස කළා.

තමන්ගෙ කණ්ඩායමේ සගයන්ට එකමුතුකම, තමුන් කරන කාර්යය ගෞරවයෙන් කරන්න, ආත්ම විශ්වාසයක් ඇති කරන්න හොඳ ක්‍රමයක් විදිහට අතීත මුතුන් මිත්තන් කරපු කැපකිරීම් පෙන්නන්න ඔහුට ඕන වුනා.

මේ පිළිබඳව පසුකලක අදහස් දැක්වූ ස්ටීව් වෝ කියා සිටියේ, “මිනිසුන් අපිට වීරයෝ කියනවා. නමුත් අපි ක්‍රීඩාවක් කරනවා පමණයි. අපි එයට දක්ෂයි. නමුත් සැබෑවටම සටන් කළ අය අපට වඩා වීරයන්. ඔවුන්ට ඒ ගෞරවය ලැබිය යුතුයි. ක්‍රීඩකයන්ට මෙම ගමන හොඳ අත්දැකීමක් වුනාට, අතීතයේ එහි සිදු වූ බිහිසුණු සිදුවීම්, මියගිය පුද්ගලයන්, තුවාල ලැබූවන් මුහුණ දුන් තත්වයන් අපිට හිතාගන්න වත් බැහැ”

(Picture: cricangel.com)

ඒ තරග සංචාරයේ දී ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලිය වගේම එක්දින තරගාවලියත් ජය ගන්නවා. සාර්ථක කණ්ඩායමක් විදිහට නැවත වතාවක් අපරාජිතව නැගී සිටීමේ ආරම්භය මේ සමඟ සිදු වුනා වගේම, ස්ටීව්ගෙන් පස්සෙ කණ්ඩායමේ නායකත්වය භාරගත්ත රිකී පොන්ටින්ට අතිසාර්ථක කණ්ඩායමක් භාරදෙන්න ස්ටීව්ට හැකි වෙන්නෙ ඔහුගේ තිබ්බ අතිවිශිෂ්ට නායකත්ව ගුණයන් නිසා.

(Picture: sportskeeda.com)

එපමණක් නෙවෙයි සාමාන්‍යයෙන් නායකයෙක් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට තමුන්ගේ පන්දු යැවීමෙන්, පන්දු රැකීමෙන් සහ ඇනුම් පද (Sledging) කීමෙන් ප්‍රතිවාදියා මානසිකව බිඳ වට්ටනවා. එහෙත් ස්ටීව් ඊට හාත් පසින් වෙනස් උපක්‍රමයක් තමයි භාවිත කළේ. ඔහු වේගවත් ආක්‍රමණකාරී පිතිකරණය ප්‍රතිවාදීන්ට මානසික බියක් ඇති කිරීමට යොදාගත්තා.

2001 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන් සහභාගි වූ ටෙස්ට් තරගවල දී පන්දුවාරයකට ලකුණු 3.77ක සාමාන්‍යයක් ලබා ගත්තා. 2002 වසරේ දී එය 3.99ක්. ටෙස්ට් ඉතිහාසයේ මෙම ලකුණු වේගය ඉක්මවා ගිය අවස්ථා ඇත්තේ එකක් පමණයි. ඒ 1910 දී එවකට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානුවන් සෑම පන්දුවාරයකරම වාර්තා කළ 4.47ක ලකුණු ලබා ගැනීමේ වේගයට පමණයි.

ස්ටීව්ගේ නායකත්වය යටතේ, තරගයක පළමු පන්දුව වුනත්, ලකුණු 10ට කඩුලු 3ක් බිඳ වැටී තිබුනත්, ලකුණු 200ට කඩුලු 0ක් වුනත්, දිවා ආහාරය දක්වා කාලය ද, දිවා ආහාරය සහ තේ පානය අතර තුල කාලය ද, සවස් භාගය ද, කිසිදු වෙනසකින් තොරව ඔවුන් වේගයෙන් ලකුණු රැස් කරමින් ප්‍රතිවාදීන්ව පිතිකරණයෙන් ද මානසිකව බිඳ වැටීමට සැලැස්සුවා. කඩුලු රකින ක්‍රීඩකයා 6 වැනි ක්‍රීඩකයා ලෙස පන්දුවට පහර දීමට පිටියට පැමිණියත් ඔහුත් පළමු පිතිකරුවන් 6 දෙනා වගේම වේගය පවත්වා ගනිමින් පන්දුවට පහර දිය යුතුයි කියන උපක්‍රමය ඔහු භාවිතා කළා.

වේගය සිත් ඇදගැනීමට භාවිතා නොකළ ඔහු ප්‍රතිවාදීන් අන්දමන්ද කරමින්, ඔවුන්ගේ මනසෙහි ඇති වන චකිතය, ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය බවට පත් කර ගත්තා.

මේ හේතුව නිසාම අදටත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයා ඔහුයි.

සැ.යු: මෙම ලිපියේ දැක්වෙන මතයන් සහ අදහස් මෙම ලිපිය රචිත පුද්ගලයාගේ අදහස් වන අතර ThePapare.com හි නිල ප්‍රතිපත්ති හෝ ස්ථාවරය මෙයින් පිළිබිඹු නොකරන බව කරුණාවෙන් සලකන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<