කිරුල සොයා යන අවසන් දිනය හෙටයි

542
Singer U15 - Nalnada vs St. Sebastian College day 1 report

සිංගර් ආයතනය මගින් සවිබල ගැන්ව‍ෙන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල්  ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය, කොළඹ නාලන්දා විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟින් අද (14) කොළඹ තර්ස්ටන් පිටියේදී ආරම්භ විය.

පසුගිය ලිපි: 15න් පහල ප්‍රීමා ක්‍රිකට් ශූරතාවය අඛණ්ඩව 10වැනි වරටත්

සෙබස්තියන් විද්‍යාලය විසින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ද, නාලන්දා විද්‍යාලය විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ද එදිරිව පළමු ඉණිම් වලදී ජයග්‍රහණ ලබා ගනිමින් මෙම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබාගන්නා ලදි.

සාමාන්‍යයෙන් තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් පිටිය මුල් පිතිකරණ කණ්ඩායම සඳහා යම් වාසියක් දක්වන අතර එම වාසිය ද සමගින් පිටියට පැමිණි ප්‍රබල සෙබස්තියන් විද්‍යාලයේ පිතිකරණය තම ග්‍රහනයට හසුකර ගැනීමට ජයෝද් කල්දීර ඇතුළු නාලන්දා විද්‍යාලයේ යොවුන් පන්දු යවන්නන් සමත් විය.

අවසන් පූර්ව තරගයේ දැවැන්ත ලකුණක් ලබා ගත් සෙබස්තියන් විද්‍යාලයේ පිතිකරණය මෙම තරගයේ පළමු ඉණිම තුළ යම් පසුබෑමකට ලක්වූ අතර නාලන්දා පන්දු යවන්නන් තම වගකීම් නිසියාකාරව මෙම ඉණිම තුළ ඉටුකරන ලදි.

සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වූ අතර ඔහුගේ ඉණිම ලකුණු 31කට සීමාවිය. අනෙක් පිතිකරුවන් හට ලකුණු 22ක සීමාව පසුකර යාමට නොහැකි වන ලෙස ඉතා මැනවින් නාලන්දා පන්දු යවන්නන් කටයුතු කරන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම- 172/10 (87.5) දුනිත් වෙල්ලාලගේ 31, ජනිශ්ක පෙරේරා 21, ජයෝද් කල්දීර 3/25, තමිදු කමලසූරිය 2/30, රවීන් ද සිල්වා 2/17

පළමු දිනය නිමාවීමට සුළු මොහොතක් තිබියදී, තම පළමු ඉණිම දියත් කිරීම සඳහා පිටියට පැමිණි නාලන්දා විද්‍යාල කණ්ඩායම, දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබාගෙන ගන්නා ලදි.

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට)- 4/0 (3)

මෙම තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස ඩී. එම්. ඒ. ඩී. දිසානායක මහතා හා සුසිල් චන්ද්‍රසිරි මහතා ක්‍රියා කරන ලදි.

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (15) තර්ස්ටන් පිටියේදීම පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට