අවසන් තත්පරය රනින් හැඩ කළ දක්ෂයින්

297

තරගයක් අවසන් තත්පරය තුළ දී ජය ගැනීම ජයග්‍රාහකයාගේ සහ පරාජිතයාගේ යන දෙදෙනාගේම හැකියාවේ මට්ටම කියාපාන්නකි. එනම් අවසන් තත්පරය වන තෙක් දෙපිලම ආක්‍රමණයේදී හෝ ආරක්ෂණයේදී ඉදිරියෙන් සිට ඇති බවයි. ඇතැම් විට දෙපිලෙන්ම කිසිදු දස්කමක් ප්‍රදර්ශනය නොවුවාද විය හැකියි.

එහෙත් ජාත්‍යන්තර සහ NBA පැසිපන්දු තරග යනු තරගකාරීත්වය අතින් ඉතා ඉහළින් පවතින්නකි. එයිනුත් NBA තරග යනු ලෝක පැසිපන්දුලෝලීන්ට අමතක නොවන දස්කම් නැරඹීමේ අවස්ථාව ලබා දුන් වේදිකාවක්. NBA තරගයක අවසන් තත්පරය තුළදී දෙපිලේම ලකුණු සම වී හෝ යම් පිලක් එක් ලකුණකින් හෝ දෙකකින් පසුපසින් සිටියදී එය අදහා ගත නොහැකි විදීම් මගින් වෙනස් කර ජයග්‍රහණය තමන් සතු කර ගත් ක්‍රීඩකයන්ට “බසරය පරාජය කළවුන්” එසේත් නැත්නම් “Buzzer beaters” යැයි කියමු.

එවන් දස්කම් සමඟින් අවසන් මහා තරග ඇතුළුව තරග ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ එම අවස්ථාවන් යළි සිහිපත් කරන අවස්ථාවයි මේ…

10 රොබට් හොරී (ලොස් ඇන්ජලීස් ලේකර්ස්)

Sacbee.com
Sacbee.com

2002 බටහිර ඇමරිකානු සමුළු කුසලානයේ අදියර 5කින් යුත් අවසන් තරගයේ 4වැනි අදියර එළඹෙන විට ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම සැක්රමෙන්ටෝ කිංග්ස් කණ්ඩායමට එරෙහිව 2-1ක් ලෙස පසුපසින් සිටියේය. මීළඟ අදියරේදී ශූරතාව පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් එම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබිණි.

තරගයේ අවසන් තත්පර 11 වන විට ලකුණු තත්වය 99-97ක් විය. ලේකර්ස් කණ්ඩායම සිටියේ පිටුපසිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 3ක විදීමක් අනිවාර්ය වූ අතර තරගය සමකරගන්නට නම් ලකුණු 2ක විදීමක් අවශ්‍ය විය. ක්‍රීඩා තරු වූ කෝබි බ්‍රයන්ට් සහ ශකීල් ඔ’නීල්ට අත්හැරුණු පන්දුව හොරී අතට ලැබෙන විට තරගයේ තත්පර 0.7ක් පමණ ඉතිරිව තිබිණි. හොරී වාර්තා කළේ එක් ලකුණක් හෝ දෙකක් නොව, තුනකි.

09 ඩේවිඩ් ලී (නිව්යෝක් නික්ස්)

Nydailynews.com
Nydailynews.com

චාලට් බොබ්කැට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී දෙපිලම ලකුණු 109 බැගින් ලබාගෙන තිබූ අතර තරගය නිමා වෙන්නට තිබුණේ තත්පරයකටත් අඩු කාලයකි. ජමාල් ක්රොෆඩ් අතින් ලී වෙතට පන්දුව පැමිණෙන විට තත්පර දශම 3ක් පමණ ඉතිරිව තිබූ අතර එය මැනවින් සිත තුළ ගණනය කර ගනිමින් සිටි ඔහු පන්දුවට දිය හැකි ඉතාමත් සුළු තල්ලුවකින් එය පැස තුළට යැව්වේය. ලීගේ අතින් පන්දුව විතැන් වන විට ඉතිරිව තිබූ කාලය තත්පර දශම 1කි.

08 ජෙෆ් ග්‍රීන් (බෝස්ටන් සෙල්ටික්ස්)

Cloudfront.net
Cloudfront.net

මියාමි හීට් යනු එවකට පැසිපන්දු පිටියේ දැවැන්ත කණ්ඩායමකි. ඔවුන්ට එරෙහිව තරගයේ අවසානය තෙක් සටන් කළ සෙල්ටික්ස් කණ්ඩායම ලකුණු 110-108ක් ලෙස පසුපසින් සිටියේය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 3 ලබා ගැනීමට ඔවුන්ට ඉතිරිව තිබුණේ තත්පර දශම 6කි. ග්‍රීන් එහි වගකීම කරට ගෙන කණ්ඩායමට තම රාජකාරිය ඉටු කළේය.

07 ඩෙරික් රෝස් (චිකාගෝ බුල්ස්)

Performgroup.com
Performgroup.com

ලකුණු 96-96ක් ලෙස සමවූ අවසන් පූර්ව තරගයකදී ක්ලීව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායමට එරෙහිව ජය ගැනීමට චිකාගෝ බුල්ස් කණ්ඩායමට තත්පර 3ක් ඉතිරිව තිබිණි. අන්තිම තත්පරය වඩාත් ඵලදායීව යොදා ගන්නා ක්‍රීඩකයෙකු හැටියට ප්‍රකට ඩෙරික් රෝස් ඉදිරියට පැමිණෙන්නේ ඒ මොහොතේදීයි. රෝස්ගේ දිගු විදුම, කෙළින්ම පැස තුළට යන විට තරගය අවසන් වූ අතර ලකුණු 99-96ක් ලෙස චිකාගෝ බුල්ස් ජය ගත්තේය.

06 ජෙෆ් මැලෝනි (වොෂින්ටන් බුලට්ස්)

Cdninstagram.com
Cdninstagram.com

ඩෙට්‍රොයිට් පිස්ටන්ස් කණ්ඩායමට එරෙහිව ජෙෆ් මැලෝනි වාර්තා කළ මෙම දක්ෂතාවයෙහි විශේෂත්වයන් කිහිපයක් ඇත. එකක් නම් මෙය ලකුණු 3ක අනිවාර්ය විදුමක් සාර්ථක කර ගැනීමකි. අනෙක මෙය කවයේ වම කෙළවරේ සිට එල්ල කළ විදුමක් වීමයි. විශේෂිතම කරුණ වන්නේ මෙය පිටියෙන් ඉවතට යන පන්දුවක් අසමබරව ලබාගෙන පැස සහිත පුවරුවට පිටුපසින් සිට කළ විදුමක් වීමයි. එවැනි දස්කමක් කිරීම කෙතරම් අපහසු දැයි හොඳින්ම පැහැදිලි වන්නේ පැසිපන්දු ක්‍රීඩකයන්ටය.

05 ඩේමියන් ලිලාඩ් (පෝට්ලන්ඩ් ට්‍රේල්බ්ලේසර්ස්)

Cbsimg.net
Cbsimg.net

හියුස්ටන් රොකට්ස් කණ්ඩායමට එරෙහි අදියර 5කින් යුත් අවසන් තරගයේදී 3-2ක් ලෙස ට්‍රේල්බ්ලේසර්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටියත් එය සහතික කර ගැනුමට ලිලාඩ් දැක්වූ මේ දස්කම ඔවුන්ට ඉවහල් විය. 98-96ක් ලෙස රොකට්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටියදී තත්පර 0.9කදී තරගය වෙනස් කිරීමේ අවස්ථාව ට්‍රේල්බ්ලේසර්ස් හට ලැබිණි. ලිලාඩ් අතට පන්දුව ලැබෙන විට තරගයේ ඉතිරි කාලය තත්පර 0.5කි. ලිලාඩ්ගේ ලකුණු 3න් පෝට්ලන්ඩ් ජයග්‍රහණය සහතික විය.

04 ලෙබ්‍රෝන් ජේම්ස් (ක්ලීව්ලන්ඩ් කැවලියර්ස්)

disquscdn.com
Disquscdn.com

ඔහුගේ නම මෙම ලැයිස්තුවේ නොතිබුණොත් එය පුදුමයකි. 2009 නැගෙනහිර ඇමරිකානු සමුළු ශූරතාවය සඳහා සටන් වදිමින් සිටි ඕලැන්ඩෝ මැජික් කණ්ඩායම සහ ජේම්ස්ගේ කණ්ඩායම අතර දෙවන අදියරේ තරගය 95-93ක් ලෙස පැවතියේ කැවලියර්ස් කණ්ඩායමට අවාසිදායක තත්වයකයි. එහෙත් අවසන් තත්පරය තුළ ජේම්ස් යමක් කරනු ඇතැයි බලාපොරොත්තුවක් කාගේ සිත තුළත් පැවතිණි. එය සඵල විය. තරගය නිමාවෙන්නට තත්පර දශම 6කට පෙර ජේම්ස් අතට පන්දුව ලැබුණු අතර ලකුණු 3ක විදුමකින් තරගය තමන් වෙත නතු කර ගැනීමට කැවලියර්ස් කණ්ඩායම සමත් විය. එහි විශේෂත්වය වූයේ ජේම්ස් එය සිදු කළේ පසුපසට තම ශරීර බර පවත්වා ගනිමින් වීමයි.

03 ලැරී බර්ඩ් (බෝස්ටන් සෙල්ටික්ස්)

Pinimg.com
Pinimg.com

ලැරී, හැරි හැරී නොසිටි, අවසන් තත්පරය තුළ කණ්ඩායමක් ජයග්‍රහණය කර වීමේ ශූරයෙකි. ඔහු එවැනි දස්කම් සිදු කර ඇත්තේ එක්වරක් හෝ දෙවරක් නොවේ. එහෙත් මේ අවස්ථාව විශේෂ ය. පෝට්ලන්ඩ් ට්‍රේල්බ්ලේසර්ස් කණ්ඩායමට එරෙහිව 1985 වර්ෂයේ පැවති තරගයකදී ලොව දක්ෂතම ආරක්ෂකයන් දෙදෙනෙකු සේ සැලකෙන ක්ලයිඩ් ඩෙක්ස්ලර් සහ ජෙරොම් කර්සි ඉදිරියේ සිටියදී ඔවුන්ට ඉහළින් පන්දුව ලකුණු 3ක් සඳහා විදින විට ඔහු සිටියේ පැස සහිත පුවරුවටත් පිටුපසිනි. ලකුණු 128-127ක් ලෙස ජය හිමිවූයේ සෙල්ටික්ස් කණ්ඩායමටයි. පහත වීඩියෝවේ පළමු අංකය නම් එයයි.

02 ඩෙරික් ෆිෂර් (ලොස් ඇන්ජලීස් ලේකර්ස්)

Ytimg.com
Ytimg.com

තත්පර 0.4කදී සිදු කරන ලද මෙම දස්කම කරන ලද්දේ සැන් ඇන්ටෝනියෝ ස්පර්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගය 71-70ක් වශයෙන් සතුවූයේ ලේකර්ස් කණ්ඩායම සතුවයි. පසුව කෝබි බ්‍රයන්ට් එයට ලකුණක් එක්කළේය. ලකුණු තත්වය 72-70ක් වශයෙන් තිබියදී ලෝක පූජිත ක්‍රීඩක ටිම් ඩන්කන් ලකුණු 3කින් ස්පර්ස් ලකුණු තත්වය ඉදිරියට ගෙන ගියේ සියලු දෙනා මවිතයට පත්කරමිනි. ලකුණු තත්වය 73-72ක් වශයෙන් තිබියදී තරගය අවසන් වීමට ඉතිරිව තිබුණේ තවත් තත්පර 0.4කි. එහෙත් ෆිෂර්ට ලකුණු 2ක විදුමක් සඳහා එම කාලය ප්‍රමාණවත් විය.

01 මයිකල් ජෝඩන් (චිකාගෝ බුල්ස්)

 

Trbimg.com
Trbimg.com

ඔහු නොමැති පැසිපන්දු ලැයිස්තුවක් නැත. 1989 වසරේදී ඔහු විසින් ක්ලීව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායමට එරෙහිව දැක්වූ දස්කම පැසිපන්දු ඉතිහාසයේ හැඳින්වෙන්නේ “විදුම නම් විදුම” ලෙසයි. 100-99ක් ලෙස පසුපසින් සිටි චිකාගෝ බුල්ස් කණ්ඩායමට ජයගැනීම සඳහා ඉතිරිව තිබුණේ තත්පර 0.3 කි. එහිදී පිටිය මැද සිට කෙළින්ම පන්දුව පැස තුළට විදින්නට සමත් වූ ජෝඩන් ජයග්‍රහණයෙන් තම කණ්ඩායම ඉහළට ගෙන ගියේය. මෙහි සංකේතාත්මක කරුණ නම් ඔහු විසින් එය සැමරූ ආකාරය ලොව පුරා ප්‍රචලිත සංකේතයක් වීමයි.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න