සචිත්‍ර සහ අශේන් ශතක රැස් කරමින් යෝධ ලකුණු සබඳතාවයක!

161

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පළමු පෙළ තරගාවලිය වන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 6ක් ඊයේ දිනයේ (19) ආරම්භ විය.

එහි දී ඉතාමත් විශිෂ්ට පිතිකරණයක් මෙන්ම සුපිරි සබඳතාවයක් ගොඩ නගමින් දිනයේ වැඩිම අවධානයට ලක්වූ ක්‍රීඩකයින් දෙදෙනා බවට පත් වන්නට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සචිත්‍ර සේරසිංහ සහ අශේන් සිල්වා සමත් විය. ඔවුන් දෙදෙනාගේ මෙම සාර්ථකත්වයත් සමඟ ප්‍රතිවාදී වරාය අධිකාරි කණ්ඩායමට තරගය බේරා ගැනීමට ප්‍රබල වෙහෙසක් දැරීමට සිදු වී ඇත.

ශෂීන් සහ ලක්ෂාන් ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ අදින් ආරම්භ වූ සතියේ පළමු දිනය නිමා වූයේ……

බදුරලිය ක්‍රිකට් සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

NCC කණ්ඩායම සත්කාරකත්වය දැරූ මෙම තරගය පළමු දිනයට නවත්වන විට ප්‍රතිවාදී බදුරලිය ක්‍රීඩකයින් තරමක් අසීරුතාවයකට පත්ව සිටියි. ඒ NCC ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 194කට සීමා වූ බැවිනි.

එහි දී කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යෑමට හැකි නොවිය. පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් දවාලූහ. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින NCC කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබා සිටියි.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 194 (පන්දුවාර 72.4): සංජය චතුරංග 28, අලංකාර අසලංක 25, චතුරංග ද සිල්වා 3/28, ලසිත් ඇඹුල්දෙණිය 3/33, ලහිරු කුමාර 2/45.

NCC කණ්ඩායම – එක් කඩුල්ලක් දැවී ලකුණු 52 (පන්දුවාර 15): මහේල උඩවත්ත 25*.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඉනිම ලකුණු 232කට සීමා විය. ඒ අතරතුරේ දී කැපී පෙනුණේ ඩිල්ශාන් ද සොයිසා රැස්කළ අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී තිලකරත්න සම්පත් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්විය. මේ වන විට යුධ හමුදා ඉනිම පසුපස හඹායන BRC කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 106ක් ලබා සිටියි. ඉතාමත් සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් සිටින ලසිත් ලක්ෂාන් සහ ලිසුල ලක්ෂාන් පිළිවෙළින් ලකුණු 61 සහ 33 බැගින් ලබා සිටියි. තරගය පැවැත්වෙන්නේ කොළඹ BRC පිටියේදීයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 232 (පන්දුවාර 65.3): ඩිල්ශාන් ද සොයිසා 50, සීක්කුගේ ප්‍රසන්න 45, හිමාෂ ලියනගේ 21, කසුන් ද සිල්වා 21, තිලකරත්න සම්පත් 4/40, චාමිකර එදිරිසිංහ 3/70, සුරාජ් රන්දීව් 2/39.

BRC – එක් කඩුල්ලක් දැවී ලකුණු 106 (පන්දුවාර 27): ලසිත් ලක්ශාන් 61*, ලිසුල ලක්ශාන් 33*.


සිංහල ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ සිංහල ක්‍රීඩා සමාජයයි. නමුත් තමන්ට ඉතාමත් හුරුපුරුදු තණතිල්ල මත දී එතරම් විශිෂ්ට ආකාරයේ පිතිකරණ දක්ෂතා පෙන්නුම් කිරීමට නොහැකි වූ ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 199කට සීමා විය. කෙසේ වෙතත් දසුන් ශානක ලකුණු 75ක් වාර්තා කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ප්‍රතිවාදී ඉනිම බිඳ දැමීමට මූලිකත්වය ගත් තරිඳු රත්නායක ලකුණු 71කට කඩුලු 5ක් බිඳ හෙලීය. මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන මුවර්ස් පිළ ලකුණු 124කට කඩුලු 7ක් බිඳ වැටී අසරණව සිටියි.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 199 (පන්දුවාර 52.1): දසුන් ශානක 75, මිනෝද් භානුක 36, තරිඳු රත්නායක 5/71, ශිරාන් ප්‍රනාන්දු  3/56.

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 124 (පන්දුවාර 36): චාමර සිල්වා 32, ප්‍රිමෝෂ් පෙරේරා 27, ජෙෆ්රි වැන්ඩර්සේ 3/30, සචිත්‍ර සේනානායක 2/27, විමුක්ති පෙරේ⁣රා 2/32.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ CCC පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දෙන සැරසන්ස් ක්‍රීඩා සමාජය තරගයේ පාලනය මුළුමනින්ම තමන් අතට ගනිමින් කඩුලු 5කට ලකුණු 347ක් ලබා සිටියි. ඒ වෙනුවෙන් සුවිශාල කාර්‍යභාරයක් ඉටු කරමින් සිටින හර්ෂ කුරේ නොදැවී ලකුණු 108ක් ලබා සිටියි. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. මීට අමතරව මින්හාජ් ජලීල් ලකුණු 82ක් ද, තානුක දාබරේ ලකුණු 72ක් ද ලබා ගනිමින් සැරසන්ස් ඉනිමට පණ පෙවූහ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය කඩුලු  5ක් දැවී ලකුණු 347(පන්දුවාර 69): හර්ෂ කුරේ 108*, මින්හාජ් ජලීල් 82, තානුක දාබරේ 72, ප්‍රමෝද් මදුවන්ත 29.

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශයට වාර්තාගත ජයක්

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගය හෙවත් බංග්ලාදේශය සමඟ තරගයේ දී තුන් ඉරියව්වෙන්ම……


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

දක්ෂතා අතින් අද දිනයේ අති සාර්ථක කණ්ඩායමක් බවට පත්වූ හලාවත මේරියන්ස් කණ්ඩායම මේ වන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 335ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනගා තිබේ. එහි ගෞරවය හිමි විය යුත්තේ මේරියන්ස් ආරම්භක පිතිකරු අශේන් සිල්වාට සහ මැදපෙළ පිතිකරු සචිත්‍ර සේරසිංහටයි. ඒ ඔවුන් දෙදෙනා අතර මේ වන විට ගොඩනැගී ඇති නොබිඳුණු ලකුණු සබඳතාවය 215ක් බවට පත්ව තිබේ.

30 හැවිරිදි වියේ පසුවන දකුණත් පිතිකරු සචිත්‍ර සේරසිංහ මේ වන විට හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 130ක් ලබා සිටින අතර, 27 වැනි විය සපුරා සිටින වමත් පිතිකරු අශේන් සිල්වා හතරේ පහර 15ක් සමඟින් ලකුණු 125ක් ලබා සිටියි. මොවුන් දෙදෙනා අතරේ ගොඩ නැගී තිබෙන මෙම සබඳතාවය අද දිනයේ දී යම් හෙයකින් දේශීය තරග වාර්තාවක් බවට පරිවර්තනය වීමට ද හැකියාවක් ඇත.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 335 (පන්දුවාර 90): සචිත්‍ර සේරසිංහ 130*, අශේන් සිල්වා 125*, ඕෂද ප්‍රනාන්දු  65.


රාගම ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

පිතිකරුවන්ගේ බල පරාක්‍රමය වැඩි වශයෙන් පැතිරුණු මෙම තරගය ඊයේ ක්‍රියාත්මක වූයේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දීයි. එහි දී මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාගත් රාගම ක්‍රීඩකයින් මේ වන විට කඩුලු 9ක් දැවී ලකුණු 312ක් ලබා සිටියි. එහි දී ලහිරු තිරිමාන්න ලකුණු 62ක් ලබාගත් අතර රොෂේන් සිල්වා, සමීර ද සොයිසා සහ ලහිරු මිලන්ත අර්ධ ශතක වාර්තා කරමින් රාගම පිළේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කළහ.

රාගම ක්‍රිකට්  සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 312 (පන්දුවාර 90): ලහිරු තිරිමාන්න 62, රොශේන් සිල්වා 59, සමීර ද සොයිසා 53, ජනිත් ලියනගේ 50, ලහිරු මිලන්ත 38, ලහිරු සමරකෝන් 2/51, කසුන් රාජිත 3/80, රමේශ් මෙන්ඩිස් 2/82, මලිත් ද සිල්වා 2/86.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<