පාකිස්තාන ටෙස්ට් නායකත්වය වෙනස් වෙයි

240

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව නව ටෙස්ට් නායකයා ලෙස ආරම්භක පිතිකරු Babar Azam පත්කර තිබේ.

Babar Azam මේ වන විට පාකිස්තාන එක්දින සහ විස්සයි විස්ස නායකයා වන අතර ඔහු ටෙස්ට් නායකත්වයකට පත්වීමත් සමඟින් පාකිස්තාන කණ්ඩායමේ සියලු ආකෘතිවල නායකයා ලෙස ඔහු පත්ව තිබේ.

මීට පෙර පාකිස්තාන කණ්ඩායම සහභාගී වූ එංගලන්ත තරග සංචාරයේ දී කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ Azhar Ali හටය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Ehsan Mani මෙම පත්කිරීම පසුගිය දා තහවුරු කර තිබුණි. එහි දී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ Azhar Ali සමඟින් ඊයේ (10) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

පාකිස්තාන ටෙස්ට් නායකත්වයකට පත්වීමෙන් පසුව Babar Azam හට හිමිවන පළමු අභියෝගය වන්නේ පාකිස්තාන කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් සංචාරයයි. ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය නවසීලන්තයේ Mount Maunganui සහ Christchurch හිදී පැවැත්වීමට නියමිතය. මේ වන විට සැලසුම් කර ඇති පරිදි පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 – 30 දක්වා ද, දෙවන ටෙස්ට් තරගය ජනවාරි 3 – 7 දක්වා ද පැවැත්වීමට නියමිතය. 

“Babar Azam කවදාහරි පාකිස්තාන නායකත්වයකට සුදුසු ක්‍රීඩකයෙක් විදිහට අපි තරුණ කාලෙදිම හඳුනාගෙන තිබුණා. ඔහුගේ සහජ හැකියාව සහ නායකත්ව ගුණාංග නිසා අපි කලින්ම ඒක හඳුනා ගත්තා. ඒ නිසා තමයි අපි ඔහුව මේ වසරේ මුලදී එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට පත්කළේ” Ehsan Mani පවසා සිටියේය.

“Babar Azamගේ ස්ථාවරත්වය, දක්ශතාවය නිසා වගේම ඔහුගේ නායකත්ව ගුණාංග නිසා තමයි අපි තීරණය කළේ ටෙස්ට් නායකත්වයත් ඔහුට ලබා දෙන්න. පසුගිය කාලය ගත්තම ඔහු අපිට ඔප්පු කරලා පෙන්වුවා නායකයා විදිහට අමතර වගකීමක් බාරගන්න ඔහු සූදානම් කියලා.” 

“මම ස්තූතිවන්ත වෙනවා Azhar Aliට. වසර 10කට පස්සේ පාකිස්තානයේ දී අපි ක්‍රීඩා කරපු ටෙස්ට් තරගාවලියේ නායකත්වය ගන්න ඔහු ඉදිරිපත් වුනා. මම හිතනවා Azhar Aliට තවත් ගොඩක් කල් ක්‍රිකට් සෙල්ලම් කරන්න හැකියාව තියනවා. ඉදිරිපෙළ පිතිකරුවෙක් විදිහට ඔහුගේ අත්දැකීම් සහ දක්ශතාවය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් වටිනවා. අපි ඔහුගෙන් උපරිමය ගන්න බලාපොරොත්තු වෙනවා.” 

තවත් ක්‍රිකට් පුවත්: 

නායකත්වයට පත්වීමෙන් අනතුරුව Babar Azam සිය නව වගකීම පිළිබඳව අදහස් දක්වා සිටියේය. 

“පාකිස්තාන ටෙස්ට් නායකයා විදිහට පත්වීම මට ලොකු ගෞරවයක්. පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම මෙහෙයවපු ගෞරවනීය නායකයන් අතරට එක්වෙන එක මගේ ලොකු හීනයක්. ඒ හීන සැබෑ කර ගන්න පුළුවන් වෙන්නේ අවංකව සහ කැපවීමෙන් ඒ පසුපස හඹා ගියහොත් පමණක් බව මට දැන් විශ්වාසයෙන් කියන්න පුළුවන්.”

“ඇත්තටම මම සූදානම් මේ අභියෝගය බාරගන්න. මෙම හිතනවා නායකත්වයත් එක්ක මට අමතර වගකීමක් වගේම අමතර ආත්ම විශ්වාසයක් ලැබුණා. මම හිතනවා මේ අභියෝගය මට සාර්ථකව ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායම බැලුවොත් දක්ෂ, අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. ඉතාමත් හොඳ කාර්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒ වගේ කණ්ඩායමක් එක්ක ඒක එතරම් අමාරු එකක් නොවේවි.” 

“මම ස්තූතිවන්ත වෙනවා Azhar Aliට. ඔහු තමයි මට කලින් හිටිය නායකයා. අමාරු අවස්ථාවක ඔහු කණ්ඩායම බාරගෙන ඒ වගකීම ඉටු කළා. ඔහු ඔහුට කරන්න පුළුවන් උපරිමයෙන් කණ්ඩායමට සේවය කළා. ඔහුට අපි ණයගැතියි.” 

Babar Azam වර්තමාන පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයා වන අතර ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානය ද, එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය ද, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය ද ලබාගෙන සිටී.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<