‘මියෙම්වා රැකෙම්වා’ තරගයෙන් ශ‍්‍රී ලංකාව ගොඩ එයි ද?

406

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහා සටනට සුදුසුකම් ලබා ඇති ඉන්දීය කණ්ඩායමේ ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තීරණය වන අතිශයින්ම තීරණාත්මක විස්සයි විස්ස තරගය සිකුරාදා (16 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණ‍රයේ දී රාත්‍රි 7ට ආරම්භ වේ.

[rev_slider LOLC]

‘මියෙම්වා රැකෙම්වා’ තරගයක් හෙවත් අවසන් පූර්ව තරගයක ස්වරූපය ගෙන තිබෙන මෙම තරගය ඉලක්ක කර ගනිමින් දෙපිළම බ්‍රහස්පතින්දා (15 වැනිදා) පුහුණුවීම්වල නිරතව සිටියේ ඉතාමත් දැඩි උනන්දුවකින් යුක්තවය.

ඉන්දියාව නිදහසේ අවසන් මහා සටනට

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පස්වැනි තරගය ලෙසින් පැවති බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 17ක පහසු ජයක් ලද ඉන්දිය කණ්ඩායම…

දෙපිළම සිය තුන් ඉරියව්වේ ශක්තීන් මුවහත් කර ගන්නා අතරතුරේ දී අවසන් මහා තරග බලාපොරොත්තුව තවදුරටත් වැඩි කර ගැනීමේ අභිලාෂයෙන් බංග්ලාදේශ කණ්ඩායම සිය හොඳම තුරුම්පුව වන ශකීබ් අල් හසන්ව ද හදිසියේම කණ්ඩායමට කැඳවා තිබේ. ආබාධයක් හේතුවෙන් මුලින් පැවති තරග කිහිපය අහිමි වුවත්, ශ‍්‍රී ලංකාව පැරදවීමේ එ්කායන අරමුණ සාක්ෂාත් කර ගැනීම අරභයා අල් හසන්ව නැවතත් කණ්ඩායමට කැඳවීමට පියවර ගෙන තිබේ.

තහනමට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල්ගේ සේවය ද ශ‍්‍රී ලංකාවට අහිමිව තිබීම පිතිකරණ ශක්තියෙහි යම්කිසි දෙදරවීමක් ඇති කරවන්නක් වී තිබේ. එමෙන්ම අවසන් වරට පැවති තරගයේ දී ලකුණු 215ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් තරගය ජය ගැනීමට බංග්ලාදේශ පිල සමත් වීම ද ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මනසින් තවමත් වියැකී ගොස් නොමැත.

මෙවැනි කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙම තරගයේ වැඩි පීඩනයක් ශ‍්‍රී ලංකාවට යොමුව තිබෙන බව අනුමාන කළ හැකි වුවත්, එ් පිළිබඳව ශ‍්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.

”පළමු තරගයට ක්‍රීඩා කරන විදියටම තමයි අපි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ. එ්ක නිසා අපිට කිසිම පීඩනයක් නැහැ. එතන දී අවසන් පූර්ව තරගය ද අවසන් මහ තරගය ද කියන එක අපිට වැදගත් වන්නේ නෑ. අපිට වැදගත් වන්නේ මේ තරගය ජය ගැනීම. එ්ක ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න තරම් හොඳ මානසික සූදානමකින් අපි ඉන්නවා.” යැයි හතුරුසිංහ මහතා පවසයි.

මෙතෙක් පැවති තරග සියල්ල ගෙන බැලීමේ දී දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසියක් තිබෙන බව බොහෝ දෙනාගේ මතය බවට පත්වී තිබුණ ද මෙම තරගාවලිය යටතේ පැවති පස්වැනි තරගයේ දී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම පරදවා එම මතය වෙනස් කිරීමට සමත් විය.

”කාසියේ දෙපැත්තේ තියෙන වාසිය සහ අවාසිය කාට එයි ද කියන්න බැහැ. දෙපැත්තෙන් මොන පැත්ත ආවත් අපි ලෑස්තියි. කිසිම කෙනෙකුට කියන්න බැහැ දෙවැනියට පහර දෙන අය දිනනවා කියලා. බංගලාදේශය සහ ඉන්දියාව අතර දිනුවේ මුලින් ගහපු අයයි. එ් නිසා කාසියේ වාසිය ගැන හිතලා තරග දිනන්න බැහැ” යැයි ශ‍්‍රී ලංකා පුහුණුකරු ද කරුණු සනාථ කර සිටියේය.

ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමේ පෙරටුගාමියා බවට පත් වූ මුෂ්ෆිකර් රහීම් මෙම තරගාවලියේ වැඩිම අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින පිතිකරුවා බවට පත්ව සිටියි. හෙතෙම අර්ධ ශතක 2ක් සම තරගාවලියේ මුළු ලකුණු 162ක් ලබා සිටින්නේ මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර දෙවැනි තැනේ සිටගනිමිනි. රහීම් ශ‍්‍රී ලංකාවට එරෙහි තරගයේ දී පන්දු 55ක දී ලකුණු 72ක් ලබා ගත් අතර ඉන්දියාව සමඟ පැවති තරගයේ දී ද පන්දු 35ක දී ලකුණු 72ක් ලබා බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණයේ ආසන්නය දක්වාම රැගෙන එ්මට සමත් විය. එම ඉනිම් දෙකම නොබිඳුණි එ්වා වීම විශේෂත්වයක්.

එහෙත් බංග්ලාදේශ කණ්ඩායම ද ලතැවෙන ගැටලුවක් වේ. එ් රහීම් තම උපරිමයටම පැමිණ සිටිය ද, ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දීමට සෙසු පිතිකරුවන් අසමත්  වීමය. මෙය ශ‍්‍රී ලංකාවට ආදේශ කිරීමේ දි තත්ත්වය වඩා යහපත්ය. ශ‍්‍රී ලංකාවේ පිතිකරණ බල ඇණිය බොහෝ විට කුසල් මෙන්ඩිස් හෝ කුසල් පෙරේරා මත පදනම්ව ගොඩනැගෙන අතර එ් සඳහා උපුල් තරංග, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක සහ තිසර පෙරේරා දායකත්වය ලබා දීම සුබදායී ලකුණකි.

පිතිකරණයෙන් හැරුණු විට ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ප‍්‍රධානම ගැටලුව බවට පත්ව ඇත්තේ ප්‍රතිවාදී පිතිකරුවන් මට්ටු කිරීමට තරම් පන්දු යවන්නන් තම දක්ෂතා අතරට පැමිණීමට අසමත් වීමයි. දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල් සහ උක්ත තරගයේ නායකයා ලෙස කටයුතු කරන තිසර පෙරේරා ද තවමත් හොඳ රිද්මයකට පැමිණීමට අපොහොසත් වී තිබේ. මෙම තත්ත්වය නිසා හොඳින් පන්දු යවමින් සිටින අකිල ධනංජය ද පීඩනයකට පත්ව තිබේ.

පන්දු යවන්නන් සම්බන්ධව කොතෙකුත් මතිමතාන්තර පැවතිය ද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුගේ අදහස වී තිබෙන්නේ තම පන්දු යවන්නන්ට තවදුරටත් සහයෝගය ලබා දිය යුතු බවයි.

මන්දගාමී චන්දිමාල්ට තහනම් වූ තරග දෙකේ ඔටුන්න තිසරට

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් සිටින දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවල ලද තරග …

”තරගාවලිය පටන් ගන්න කොට අපි හිතුවේ මේ පන්දු යවන්නන් තමයි අපිට ඉන්න හොදම අය කියලා. අපි තවමත් ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. තරගයකින් දෙකකින් එ්ගොල්ලන්ට කරන්න බැහැ කියලා අපි හිතන්නේ නෑ. ඔවුන්ට සැලසුමට අනුව සිදු වුනේ නෑ කියලා අපි පිළිගන්නවා. එ්ත් අපි තවමත් විශ්වාස කරන්නේ ඔවුන්ගේ දක්ෂතාවයෙන් පන්දු යවයි කියලා.” යැයි හතුරුසිංහ මහතා සිය විශ්වාසය තබයි.

මේ අතර බංග්ලාදේශය සතු දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන් කණ්ඩායමට පැමිණීම පිළිබඳව පස්වනක් ප්‍රීතියෙන් පසුවන බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු කර්ට්නි වෝල්ෂ්, ”ඔහුව අපි මුල ඉඳන්ම බලාපොරොත්තු වුනා. අවශ්‍ය මොහොතේ දී ම ඔහු කණ්ඩායමට එක්වීම ලොකු ශක්තියක්. මෙහෙට එන්න කළිනුත් ඔහු ඩකා වලදී පුහුණු සැසියකට සහභාගි වෙලා තියෙනවා” යි පවසයි. ”මෙය අවසන් පූර්ව තරගයක්. අපි තුන් ඉරියව්වෙන්ම හොඳට කරලා තියෙනවා. මේ දෙකම මේ තරගයේදීත් එකට එකතු වුනොත් අපිට අවසන් මහ සටනට යන්න පුළුවන්” යැයි වෝල්ෂ් වැඩිදුරටත් පවසයි.

තරගයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් මෙසේය.

ශ‍්‍රී ලංකාව : ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා(නායක*, දසුන් ශානක, ජිවන් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්.

බංග්ලාදේශය : ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, ලිටන් දාස්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා රියාද්, ශකීබ් අල්හසන්(නායක*, සබීර් රෙහ්මාන්, මෙහෙඩි හසන්, මුස්ටෆිසුර් රෙහ්මාන් රුබෙල් හොසේන්, අබු හයිඩර්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<