ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7කට T10 තරගාවලියට වරම්

171

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රැල්ලට තවත් අලුත් රැල්ලක් එකතු කළ T10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග අදියර මේ වසරේ නොවැම්බර් 15 වැනිදා සිට 24 දක්වා අබුඩාබි හිදී පැවැත්වේ.

UAE ක්‍රීඩකයින් තිදෙනෙක්ට ICCයෙන් දූෂණ චෝදනා

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු තේරී පත්ව තිබෙන අතර ඒ ඒ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් වෙන් කිරීමේ දෙවන සහ අවසන් අදියර ඊයේ (16) දිනයේ ඩුබායි හිදී සිදු කෙරුණි. 

එහි දී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දසුන් ශානක, ක්‍රිස් ලින් ප්‍රධාන ක්‍රීඩකයා වූ මරත ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් තේරී පත්ව ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග (මරත ඇරබියන්ස්), ප්‍රහාරාත්මක පිතිකරුවන් වන කුසල් පෙරේරා (මරත ඇරබියන්ස්), නිරෝෂන් දික්වැල්ල (ටීම් අබුඩාබි), වනිඳු හසරංග (මරත ඇරබියන්ස්), තිසර පෙරේරා (බංග්ලා ටයිගර්ස්- ප්‍රධාන ක්‍රීඩකයා) හා භානුක රාජපක්ෂ (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්) යන ක්‍රීඩකයින් ඒ එක කණ්ඩායම් විසින් ඔවුන්ගේ කණ්ඩායම සඳහා තෝරාගෙන තිබේ.

කෙසේ නමුත් ගියවර T10 තරගාවලිය ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්  වන ඉසුරු උදාන හා උපුල් තරංග හට මෙවර තරගාවලියට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලැබී නොමැති වුවත් 2018 තරගාවලිය ක්‍රීඩා නොකළ භානුක රාජපක්ෂ හා වනිඳු හසරංග මෙවර T10 ක්‍රිකට් තරගාවලිය සඳහා තේරී තිබේ.

ඉසුරු උදාන දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන මන්සි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන නිසා මේ T10 තරගාවලියට සහභාගී වන්නේ නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<