මහනුවරින් රග්බි සටනට එන සිල්වෙස්තර තුරඟුන්

111

2020 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග මේ වන විටත් ආරම්භ වී අවසන්. තරගාවලියේ B කාණ්ඩයේ කණ්ඩායම්වල සූදානම සොයා බැලීමට ThePapare.com විසින් සිදු කළ විමසීමට අදාලව කන්ද උඩරටින් තරගාවලියට පිවිසෙන තවත් කණ්ඩායමක් වන සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් මෙම ලිපිය වෙන්වේ. 

ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක මුහුණු රැසක් ද සමඟින් A කාණ්ඩයට පිවිසීම තම ප්‍රධානම අරමුණ කරගනිමින් මහනුවර සාන්ත සිල්වෙස්තර රග්බි ක්‍රීඩකයෝ එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට මනා සූදානමකින් පසු වේ.

A කාණ්ඩයට පිවිසීමට වෙර දරන ආනන්ද රග්බි කණ්ඩායම

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය ….

ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පාසල් රග්බි ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර ඒ ජාත්‍යන්තරයට පිය මනින ක්‍රීඩකයන්ගේ තිඹිරිගෙය පාසල් පිටිය වන නිසාවෙනි.

සාන්ත සිල්වෙස්තර රග්බි කණ්ඩායම දේශීය රග්බි පිටියට ඉස්තරම් ක්‍රීඩකයින් රාශියක් දායාද කිරීමට සමත්ව ඇති අතර මහනුවර ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කළ ලසිත අත්තනගොඩ එහි මෑත කාලීන නිෂ්පාදනයක් විය. ලසිත අත්තනගොඩ නායකත්වය දැරූ 2012 වසර සිල්වෙස්තර තුරඟුන් හට ස්වර්ණමය වසරක් වූ බව රහසක් නොවේ. 

අවාසනාවකට A කාණ්ඩයට පිවිසීමට තිබූ අවස්ථාව ලකුණු තුනකින් ගිලිහි ගියත් B කාණ්ඩයේ පාසල් සාන්ත සිල්වෙස්තර නමට පවා කම්පනය වන තරමට ප්‍රබල කණ්ඩායමක් නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී තිබුණි.

කෙසේ නමුත් 2018 තරග වාරය නම් සිල්වෙස්තර තුරඟුන් හට එතරම් සුබ නොවුනත් තවදුරටත් B කාණ්ඩයේ රැඳී සිටීමට තරම් ප්‍රමාණවත් දක්ෂතා පෙන්නුම් කිරීමට ඔවුන්ට හැකි විය. එහි දී දෙවැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ ඔවුන් එහි දී මුහුණ දුන් තරග 9න් 6ක ජයග්‍රහණය වාර්තා කරමින් සාර්ථකව තරගාවලිය අවසන් කළේය. 

පසුගිය තරගාවලිය 

පසුගිය වසර සිල්වෙස්තර කණ්ඩායමට එතරම් සාර්ථක වසරක් වූයේ නැත. B කාණ්ඩයේ මූලික වටයේ දී ඔවුන් ක්‍රීඩා කල තරග දෙකක් පරාජය වීමට ඔවුන්ට සිදු විය. ඔවුන් ජයග්‍රහණය කළේ තරග දෙකක් පමණි. 

පළමු තරගයේ දී ධර්මරාජ විද්‍යාලය හමුවේ ලකුණු 38-20ක් ලෙස පරාජය වූ සාන්ත සිල්වෙස්තර කණ්ඩායම දෙවන තරගයේ දී තම ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ විද්‍යාර්ථ කණ්ඩායම හමුවේ ලකුණු 45-12ක් ලෙස පරාජය විය. 

කෙසේ වෙතත් තරගාවලියේ අවසන් තරග සඳහා මනා ප්‍රවේශයක් ලබා ගත් සාන්ත සිල්වෙස්තර කණ්ඩායම මහානාම විද්‍යාලය ලකුණු 36-29ක් ලෙසත්, සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නංගර විද්‍යාලය ලකුණු 47-00ක් ලෙසත් පරාජය කිරීමට සමත් විය. 

තරගාවලිය තුල සිල්වෙස්තර කණ්ඩායම දැක්වූ දක්ෂතා ඔවුන් A කාණ්ඩය තෙක් ගෙනයාමට සමත්වූයේ නැත. 

ඇතුගල්පුර ‍රග්බි හමුදාව සීරුවෙන්

සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ …..

මෙවර තරගාවලිය 

සාන්ත සිල්වෙස්තර කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා IIB කාණ්ඩය නියෝජනය කරමින් සහභාගි වේ. එම කාණ්ඩයට ඩී. එස්. සේනානායක විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහභාගි වීමට නියමිතය. 

මෙවර තරගාවලිය සඳහා සහභාගි වන සාන්ත සිල්වෙස්තර රග්බි කණ්ඩායම 

එස්. බී. කපුකොටුව, ජී. එම්. බණ්ඩාර, ප්‍රවීන් ඇන්තනී, ඩී. බී. සමරසේකර, ජී. එස්. සුධාර, සී. එච්. කෝදාගොඩ, එස්. එස්. ප්‍රියමන්ත, සී. බී. කපුකොටුව, සී. ජේ. සජිත්, එච්. ටී. සුබසිංහ, ජේ. පී. බණ්ඩාර, එම්. නිෆ්ලාන්, බී. එස්. පෙරේරා, පී. ඩී. විජේසූරිය, එච්. එස්. අඹන්වල, එස්. දිනේශ්, එච්. ඩී. කාරියවසම්, එම්. කේ. සිල්වා, ආර්. ඒ. රණසිංහ, එන්. එම්. චන්ද්‍රසිරි, ආර්. ඒ. ලක්ශාන්, ජී. පී. බණ්ඩාර

සාන්ත සිල්වෙස්තර කණ්ඩායමේ රග්බි තරග කාලසටහන 

  • පළමු තරගය – ශ්‍රී සුමංගල විද්‍යාලය 
  • දෙවන තරගය – ඩී. එස්. සේනානායක විද්‍යාලය 
  • තුන්වැනි තරගය – තර්ස්ටන් විද්‍යාලය 
  • සිව්වැනි තරගය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 
  • පස්වැනි තරගය – ආනන්ද විද්‍යාලය 

මෙවර B කාණ්ඩය යටතේ තරග වදින සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේවායි ThePapare.com අප සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙවර පාසල් රග්බි තරග වාරයේ A කාණ්ඩයේ තරග මෙන්ම B කාණ්ඩයේ තරග ද ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<