මෙවර LPL තරග කාලසටහනේ ලොකු වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

796

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගියවර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ.

එදින පස්වරු 3.00ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් ප.ව. 7.30ට උරෙන් උර ගැටෙනු ඇති.

ගිය වසරේ පැවති තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වූ නමුත්, දෙවැනි තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන තරග 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මූලික වටයේ තරගවලින් අනතුරුව දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ඇතුළු කඩඉම් තරග වටයේ තරග හතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පළමු තරගාවලියට සාපේක්ෂව දෙවැනි තරගාවලියේ ඇති විශේෂත්වය වන්නේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිළිමළුන් පිටුදැකීමේ තරගයකට (Eliminator) අමතරව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරගයකට  ක්‍රීඩා කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව සලසා දීමයි.

මූලික වටයේ වැඩි දක්ෂතාවන් දක්වනු ලබන කණ්ඩායම්වලට අවසන් පූර්ව තරගවල දී සිදු විය හැකි අසාධාරණය අවම කිරීම වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලබයි.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් (Qualifier 1) ජය ගනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන නමුත්, පරාජිතයින්ට තවත් වරක් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නිර්මාණය කර දීම මෙවර හඳුන්වා දෙන ක්‍රමය හරහා සිදු කෙරේ.

ඒ අනුව පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) පරාජයට පත්වන කණ්ඩායමට නැවතත් අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් පිළිමළුන් පිටුදැකීමේ තරගයට හෙවත් Eliminator තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළ යුතු වනු ඇත.

මෙම නව ක්‍රමවේදය මෙවර තරගාවලියට ඇතුළත් කිරීම නිසා අභිනව තරගාවලියේ පැවති සමස්ත තරග 23ට වඩා එක් තරගයක් මෙවර තරගාවලියේ දී වැඩිපුර පැවැත්වෙනු ඇත. මීට අමතරව තරගාවලියේ ඇති අනෙක් සුවිශේෂීතාව වන්නේ දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට පසු දින ද අතිරේක දිනයක් ලෙස නම් කර තිබීම වේ.

තරග කාලසටහන පහත පරිදි වෙනවා.

LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<