ඛේටය දඟපන්දු යවන්නන්ටත් උදව් කරනවා – රහ්මාන්

197

කොරෝනා වයිරසයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ දී පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය වේගවත් පන්දු යවන්නන්ට පමණක් නොව දඟපන්දු යවන්නන්ට ද බලපානු ඇති බව ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක මුජිබර් රහ්මාන් පවසා සිටියා.

පන්දුව දඟකැවීමේ දී මෙන්ම දෝලනය කිරිමේ දී ද මෙම තීරණය දැඩි බලපෑමක් සිදු කරනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

කොරෝනාවට හසු වූ දේශීය ක්‍රිකට් පිටිය නැවතත් දළුලයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව ක්‍රීඩකයන්ට නව නීති රීති සඳහා හුරුවීමට විනිසුරුවන් තරමක ලිහිල් ලෙස කටයුතු කරනු ඇත. 

කෙසේ වෙතත් පසුකාලීනව මේ සම්බන්ධයෙන් සිදුකරන වැරදි ක්‍රියා පිළිබඳව කණ්ඩායමට අනතුරු ඇඟවීමක් සිදු වනු ඇත. මීට අමතරව යම් ක්‍රීඩකයෙක් විසින් අත්වැරැදීමකින් ඛේටය භාවිතා කළහොත් පන්දු යැවීම නැවත ආරම්භ කිරීමට පෙර විනිසුරුවන් විසින් පන්දුව පිරිසිදු කිරීමට හා විෂබීජහරණය කිරීමට නියමිතය.

“ඇත්ත වශයෙන්ම ඛේටය යොදාගෙන කරන ඔපදැමීම වේගපන්දු යවන්නන්ට මෙන්ම දඟපන්දු යවන්නන්ටත් උපකාර කරනවා. පන්දු යවන්නන්ට වාතය තුල වඩා හොඳ ඉපිලීමක් තිබිය යුතුයි. එලෙස ඔපදැමීමෙන් පන්දුව අපේ ඇඟිලි තුඩුවල හොඳින් රඳවා තබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා වඩා හොඳ පාලනයක් ලබා ගන්න පුළුවන්” මුජිබර් රහ්මාන් CRICBUZZ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි. 

“පන්දු ඔපදැමීම ක්‍රීඩාවේ වැදගත් දෙයක්. නමුත් මේ දක්වා කිසිදු තරගයක් ක්‍රීඩා කරලා නැහැ. තරග කීපයක් ක්‍රීඩා කරාට පස්සේ මේ දේවල් තරගවල දී ප්‍රතික්‍රියා කරන ආකාරය බලාගන්න පුළුවන්. මේ කාලයේ තරග සඳහා පුහුණුවීම් කරද්දී  අපි තවදුරටත් ඛේටය භාවිතා කරන්නේ නැහැ.  තරග අතරතුර දේවල් සිදු වන ආකාරය අපි බලන්න ඕන. වේගපන්දු යවන්නන්ට ඛේටය භාවිතා කරලා ඔපදැමීම වැදගත් දෙයක්. නමුත් ඔවුන් තරග දෙකක් හෝ තුනක් ක්‍රීඩා කළ පසු වඩා හොඳ අදහසක් ඒවි පන්දුව පාලනය කරන ආකාරය ගැන.”

COVID-19 හමුවේ ටෙස්ට් ක්‍රිකට් කමිසත් වෙනස් වෙයි

මීට මාස කීපයකට පෙර ලොව පුරා වසංගතයක් ලෙස පැතිර ගිය COVID-19 හෙවත් නව කොරෝනා වයිරසය නිසා ලොව පුරා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා තරග රැසක් අවලංගු කිරීමට සිදු විය. 

මේ නිසා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලි රැසක් ද අවලංගු විය. මාස කීපයක ක්‍රිකට් විරාමයකින් අනතුරුව පසුගිය සති කීපය තුල ක්‍රිකට් කණ්ඩායම් රැසක් තම පුහුණුවීම් ආරම්භ කළේ හුදකලා වටපිටා තුල දී ය.

COVID-19 හේතුවෙන් ක්‍රිකට් සංචාර ගණනාවක් අවලංගු කර ඇති අවස්ථාවක ඔවුන්ගේ පුහුණු කඳවුර ක්‍රීඩකයින්ට නිරෝගීව සිටීමට උපකාර කරන බව මුජීබ් පැවසීය. 

“පුහුණු කඳවුර අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුනා. අපි කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩා කර නැති නිසා එය අපේ යෝග්‍යතාවයට බලපානවා. කෙසේ වෙතත්, අපගේ සූදානම සඳහා අපගේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ව්‍යායාම උපකරණ ඉතා ප්‍රයෝජනවත් වුනා.  අපට මෙම පුහුණුව ඇත්තෙන්ම අවශ්‍ය වූ නිසා පුහුණු කඳවුර ඇත්තෙන්ම හොඳයි.  කුසලතා සහ යෝග්‍යතාවය යන දෙකම අත්‍යවශ්‍ය නිසා අපි ඒ ගැන අවධානය යොමු කරනවා.”

සංවෘත දොරවල් පිටුපස සෙල්ලම් කිරීමට තමන් සූදානම් බව මුජිබර් පවසා සිටියේය. නමුත් ක්‍රීඩාංගණය තුළ ප්‍රේක්ෂකයන් සිටීම ක්‍රීඩකයින්ට හොඳින් ක්‍රීඩා කිරීමට තල්ලුවක් වන බව ඔහු පවසා සිටියේය. 

“ඔව් අපිට ප්‍රේක්ෂකයන් නොමැතිව තරග ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් ප්‍රේක්ෂකයන් සිටින අවස්ථාවල ක්‍රීඩකයන් වැඩි උද්යෝගයකින් ක්‍රීඩා කරනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන් සිටීම වැදගත්. අපි උඩ පන්දුවක් අල්ලා ගන්නා විට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා නම් අපි ඒක වැඩි වශයෙන් භුක්ති විඳිනවා. ප්‍රේක්ෂක පිරිස විශාල වන තරමට තරගය දැනෙනවා වැඩියි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<