SAFF යන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතය නම් කෙරේ

283

2021 SAFF පාපන්දු ශූරතාවයට එක්වන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතය නම් කර තිබෙනවා. තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාලදිවයිනේ දීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කැළණියේ ඉදි වූ නව නේවාසික පුහුණු මධ්‍යස්ථානයේ දී සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. ඒ ජෛව බුබුළ ක්‍රමවේදය යටතේ ක්‍රීඩකයින් රඳවා ගනිමිනුයි. 

SAFF ශුරතාවයට එක්වන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතයට ක්‍රීඩකයින් 29 දෙනෙක් ඇතුළත්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිවේදනයේ සඳහන් අන්දමට ඔවුන් සති තුනක කාලයක් නේවාසිකව පුහුණුවීම් සිදුකිරීමට නියමිතයි. 

විදෙස් ලීග් තරගාවලිවල ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයින් වන මර්වින් හැමිල්ටන් හා ඩිලෝන් ඩි සිල්වා තරගාවලිය ආරම්භයට දින හතකට පෙර කණ්ඩායම හා එක්වීමට නියමිතයි. 

ක්‍රීඩකයින්ව ජෛව ආරක්ෂිත බුබුළට ඇතුළත් කර ගැනීමට පෙර ඔවුන්ව PCR පරීක්ෂණ දෙකකට ලක් කර තිබෙන අතර එහි දී ක්‍රීඩකයින් තිදෙනෙකුට COVID-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. එම ක්‍රීඩකයින් මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

2021 SAFF පාපන්දු ශූරතාව එළඹෙන ඔක්තෝබර් 1 වැනිදා සිට 16 වැනිදා දක්වා මාලදිවයිනේ මාලේ හිදී පැවැත්වීමට නියමිතයි.

2021 SAFF පාපන්දු ශුරතාවට නම් කළ මූලික සංචිතය: සුජාන් පෙරේරා, රුවන් අරුණසිරි, දනුෂ්ක රාජපක්ෂ, හර්ෂ ප්‍රනාන්දු, රොෂාන් අප්පුහාමි, චමෝද් දිල්ශාන්, චරිත රත්නායක, ඩක්සන් පියුස්ලස්, චතුරංග මධුශාන්, මර්වින් හැමිල්ටන්, චලන චමීර, ජූඩ් සුපුන්, මොහොමඩ් මුෂ්ටාක්, මොහොමඩ් ෆසාල්, කවිඳු ඉශාන්, ඩිලෝන් ඩි සිල්වා, වසීම් රාසික්, මොහොමඩ් ආකිබ්, අසිකුර් රහුමාන්, මොහොමඩ් හස්මීර්, සුපුන් ධනංජය, රිෆ්කාන් මොහොමඩ්, අබ්දුල් බාසිත්, අමාන් ෆයිසර්, අසේල මධුෂාන්, අෆීල් මොහොමඩ්, කවීෂ් ප්‍රනාන්දු, නුවන් ගිම්හාන, මොහොමඩ් ශිෆාන්

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<