Ronaldo තම කණ්ඩායම මාරු කරයි!

329
EuroSport/Football Transfers

ලොව පුරා පාපන්දු ලෝලීන් විමතියට පත් කරමින් සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo නැවතත් Manchester United කණ්ඩායම සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව Manchester United කණ්ඩායම අද (27) සවස් යාමයේ දී තහවුරු කළා. 

United කණ්ඩායම 36 හැවිරිදි Ronaldoට යූරෝ මිලියන 12.8ක් වැය කිරීමට කැමැත්ත පළකර තිබෙන අතර එයට Juventus කණ්ඩායම හා Ronaldo ද එකඟ වී තිබෙනවා. 2009 වසරේ දී Real Madrid කණ්ඩායම හා එක්වීමට පෙර Ronaldo Manchester United කණ්ඩායම වෙනුවෙන් තරග 292ක් ක්‍රීඩා කරමින් ගෝල 118ක් රැස් කරගෙන තිබෙනවා. 

United කණ්ඩායමේ ප්‍රබලම ප්‍රතිවාදීන් වන Manchester City කණ්ඩායම ද Ronaldo ගැන උනන්දු වන බවට පසුගිය පැය 24 තුළ ප්‍රබල රාවයක් පැතිර ගිය අතර ඊයේ පැවැත්වුනු 2021-22 UEFA ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ කාණ්ඩ බෙදීම ද එයට හේතුවක් වුනා. Lionel Messi ක්‍රීඩා කරන Paris Saint-Germain කණ්ඩායම හා Manchester City කණ්ඩායම එකම කාණ්ඩයට තේරී පත් වූ අතර නැවත වතාවක් Ronaldo – Messi ගැටුමක් අපේක්ෂා කරමින් පාපන්දු ප්‍රේක්ෂකයින් හා විචාරකයින් සමාජ ජාල පුරා සිය සතුට පළ කර තිබුනා. 

තවත් පාපන්දු පුවත් කියවන්න: 

කෙසේ වෙතත් Ronaldo නැවත වතාවක් තමන් වසර හයක් ක්‍රීඩා කළ Manchester United කණ්ඩායම තෝරා ගැනීම පාපන්දු රසිකයින් පුදුමයට පත්කළ තීරණයක් වුනා. United වෙනුවෙන් සර් Alex Ferguson යටතේ ක්‍රීඩා කළ Ronaldo, ප්‍රිමියර් ලීග් ශූරතා තුනක්, UEFA ශූරයින්ගේ ලීග් කුසලානයක් මෙන්ම FA කුසලානයක් ද දිනාගෙන තිබෙන්නේ FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් ද සමඟිනුයි. 

පසුගිය බදාදා Juventus කණ්ඩායම Ronaldoව ඔවුන්ගේ මිල කොන්දේසි යටතේ විකිණීමට කැමැත්ත පළ කරන බව පවසා තිබුනා. ඒ Ronaldo ද තමන්ව කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා තිබුනු පසුබිමකයි. Ronaldo වසර තුනක් Juventus වෙනුවෙන් ක්‍රීඩා කළා. 

Ronaldoට අමතරව Manchester United කණ්ඩායම මෙවර ක්‍රීඩක හුවමාරු කාලපරිච්චේදයේ දී Jadon Sancho හා Raphael Varane ද සිය කණ්ඩායමට එකතු කරගැනීම විශේෂත්වයක්. 

BBC හා ESPN ඇසුරිනි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<