තහනමෙන් පස්සේ ශ්‍රීශාන්ත්ගේ ක්‍රිකට් බලාපොරොත්තු

647
(Photo by Gareth Copley/Getty Images)

තම ජාත්‍යන්තර තරග තහනමෙන් පසුව තවත් වසර 5ක් හෝ 7ක් ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි එස්. ශ්‍රීශාන්ත් පවසා තිබේ.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක එස්. ශ්‍රීශාන්ත් අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2011 වසරේ දීය. ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වූ ඔහු, සිය තහනම් කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ අරමුණු පිළිබඳව අදහස් දක්වමින් තමා නැවත වරක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උනන්දුවක් දක්වන බව පවසා තිබේ. ඔහු මේ බව twitter පණිවුඩයක් මඟින්ද ප්‍රකාශ කර තිබිනි

2013 වසරේ දී පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිදුවූ තරග පාවාදීමක් සම්බන්ධයෙන් වැරදිකරු වූ ශ්‍රීශාන්ත් හට ජාත්‍යන්තර තරග තහනමක් පැනවිනි. එම තහනම මීට ටික කාලයකට පෙර අවසන් විය.

තම අනාගත බලාපොරොත්තු පිළිබඳව සඳහන් කරමින් ශ්‍රීශාන්ත් පවසා සිටියේ තම ප්‍රධාන අරමුණ ජාතික කණ්ඩායමට නැවත එක්වීම බවයි. ඒ සඳහා තමාට ලැබෙන සියලු අවස්ථාවන් වලදී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා තිබේ. මේ වන විට 37 හැවිරිදි වන ශ්‍රීශාන්ත් තවත් වසර 5ක් පමණ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

“මම මගේ සියලුම වැරදි වලින් සම්පූර්ණයෙන්ම නිදහස්. මගේ එකම බලාපොරොත්තුව මම වඩාත්ම ආදරය කරන ක්‍රීඩාව නියෝජනය කරන එක. මම ක්‍රීඩා කරන හැම පන්දුකටම මගේ උපරිමය ලබා දෙනවා. මට තව අවුරුදු 5ත් 7ත් අතර කාලයක් විතරයි  ඉතිරි වෙලා තියෙන්නේ. ඒ කාලය තුළ මම ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමකට මම උපරිමයෙන් ක්‍රීඩා කරනවා. ශ්‍රීශාන්ත් twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

2013 වසරේ පැවති නඩු විභාගයෙන් අනතුරුව ශ්‍රීශාන්ත්හට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවිනි. එහෙත් එම තහනම 2019 වසරේ අගෝස්තු මාසයේ දී වසර 7ක් දක්වා අඩු කිරීමට තීරණය විය. ඒ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික විනිසුරු ඩී. කේ. ජේන් මහතාගේ ඉල්ලීමකට අනුවය.

එහිදී පසුගිය වසරේ අගෝස්තු මස 07 වන දින සම්මත කරන ලද නියෝගයකින් මෙලෙස ශ්‍රීශාන්ත්ගේ තහනම වසර 7කට අඩු කළේය. එම ඉල්ලීම කරමින් ජේන් පැවසුවේ මේ තීරණයත් සමඟින් ශ්‍රීශාන්ත්ගේ සිදුවීමට අදාළ යුක්තියේ අවසානය ළඟාවන බවත් ලබන වසරේ ඔහුට ක්‍රීඩා කිරීමට ඉඩදීම තම බලාපොරොත්තුව බවත්ය.

ශ්‍රීශාන්ත්ගේ දැන් වයස අවුරුදු තිහ පසුකරලා තියෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදිහට ඔහුගේ ඉහළම වසර කීපය දැන් අවසන්. විශේෂයෙන් වේගපන්දු යවන්නෙකු ලෙස ඔහුට එතරම් කාලයක් ක්‍රීඩා කරන්න නොහැකි වේවි. ජේන් සිය නියෝගයෙන් තර්ක කර තිබේ.

“අපි ඔහුට තහනම පැනවූයේ 2013 වසරේ දී. 2013.09.13 දින සිට බලපැවැත්වෙන පරිදි වසර හතක කාලයක් සඳහා ශ්‍රීශාන්ත්ට කිසිඳු ආකාරයක වාණිජ ක්‍රිකට් ක්‍රීඩාවකට සහභාගී වීම හෝ ඉන්දීය ක්‍රිකට් ආයතනය හෝ එහි අනුබද්ධ ආයතනවල ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වීම තහනම් වුනා. මගේ අදහස වෙන්නේ විනය කමිටුව විසින් පනවා ඇති තහනම ආරම්භ වූ දවසේ ඉඳන් වසර 7ක තහනමක් මේ දඬුවමට ප්‍රමාණවත් කියලා.

පසුගිය ජුනි මාසයේ දී කේරළ ක්‍රිකට් ආයතනය විසින් ‘රංජි කුසලානය’ සඳහා නිකුත් කළ මූලික සංචිතය සඳහා ශ්‍රීශාන්ත් ඇතුළත් වීම බොහෝදෙනාගේ අවධානයට යොමු විය. ඒ වන විට පැවති කොරෝනා වෛරස තත්ත්වය නිසාවෙන් එම ප්‍රවෘත්තිය දැඩි ප්‍රසිද්ධියක් දිනාගැනීමට සමත් විය. 

තවත් ක්‍රිකට් පුවත්: 

කෙසේවෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කේරළ පුහුණුකරු සහ හිටපු ඉන්දීය පන්දු යවන ක්‍රීඩක ටිනූ යොහානන් පවසා සිටියේ මෙම සලකා බැලීම වේගපන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාව මත රඳා පවතින බවයි.

ශ්‍රීශාන්ත් ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කළේය. එහිදී ඔහු ක්‍රීඩා කිරීමට කැමති කණ්ඩායම් ද නම් කළේය.

මම හිතාගෙන ඉන්නවා මම මගේ නම 2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට දාන්න. Instagram ඔස්සේ සජීවී සංවාදයකට එක්වෙමින් ශ්‍රීශාන්ත් Crictracker වෙත පැවසීය.

මාව තෝරාගන්න ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් මම ක්‍රීඩා කරනවා. ඒත් ක්‍රිකට් රසිකයෙක් විදිහට මම ගොඩක් ආසයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඒ සචින් තෙන්දුල්කාර් නිසා. මම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩා කළේ සචින් තෙන්ඩුල්කාර් දකින්න ඕනෙ නිසා. මට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙනවා නම් මම ගොඩක් ආසයි. සචින් තෙන්දුල්කාර් එක්ක ක්‍රීඩක කාමරයේ දී ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේවි.

එස්. ශ්‍රීශාන්ත් 2005 වසරේ දී ඉන්දීය ජාතික කණ්ඩායමට පිවිසි අතර 2013 වසරේ දී තහනමට ලක්වන විට ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 53ක් සහ විස්සයි විස්ස තරග 10කට ක්‍රීඩා කර තිබිනි. එහිදී පිළිවෙලින් කඩුලු 87ක්, 75ක් සහ 7ක් දවා ගැනීමට ශ්‍රීශාන්ත් සමත් විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 44කට ක්‍රීඩා කළ ඔහු එහිදී කඩුලු 40ක් දවා ගැනීමට සමත් විය. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<