සුපිරි තරු අතරේ නැවතත් රුමේෂ් තරංග කැපී පෙනෙයි!

65th Ostrava Golden Spike 2026

8

65 වැනි Ostrava Golden Spike මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (16) චෙක් රාජ්‍යයේ දී ක්‍රියාත්මක වුනා. 

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහභාගී වූ අතර, ඔහු විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා. 

ඊයේ දිනයේ පැවැත්වුණු හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා රුමේෂ් තරංගට අමතරව ග්‍රෙනේඩාවේ Anderson Peters මෙන්ම ජර්මනියේ Thomas Rohler වැනි ක්‍රීඩකයින් ද සහභාගී වුනා. මෙහි දී රුමේෂ් විසින් මීටර් 86.57ක දක්ෂතාවක් සමඟින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, Peters විසින් මීටර් 84.27ක දක්ෂතාවක් සමඟ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා. 

මෙම ජයත් සමඟ රුමේෂ් නැවතත් ගෝලීය මට්ටම තුළ සිය නම බැබළීමට සමත් වුනා. එමෙන්ම මෙම තරගාවලිය සඳහා ලොව සිටින සුපිරි මලල ක්‍රීඩා තරු රැසක් ද සහභාගී වූ අතර, එවන් තරු අතරට මේ වන විට රුමේෂ්ගේ නමත් එක් වී තිබීම ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි හැඟීමක්. 

ඊයේ දිනයේ දී ඇමරිකානු ධාවන ශූර Noah Lyles විසින් පිරිමි මීටර් 150 ඉසව්වේ ලොව මෙතෙක් වාර්තා වූ වේගවත් ම තරග නිමි කාලය ලෙස තත්පර 14.67ක් වාර්තා කිරීමට සමත් වුනා. 

මේ අතර පිරිමි රිටි පැනීම ඉසව්වෙන් මීටර් 5.82ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ ග්‍රීසියේ Emmanouil Karalis එම ඉසව්ව ජය ගන්නා අතරේ, කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.09ක දක්ෂතාවක් සමඟ ජය ගැනීමට පෝලන්තයේ Ewa Swoboda විසින් සමත් වුනා. 

මේ අතර කාන්තා මීටර් 400 ඉසව්වේ සිට මීටර් 800 ඉසව්ව දක්වා මාරු වූ නෙදර්ලන්තයේ Femke Broeders Bol විසින් ඊයේ දිනයේ දී සිය පළමු විවෘත මීටර් 800 ඉසව්ව නියෝජනය කළා. 

එමෙන්ම මෙහි දී ඇය විසින් මිනිත්තු 1.57.13ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වීමත් විශේෂත්වයක්. 

එමෙන්ම එළඹෙන සිකුරාදා (19) රුමේෂ් තරංග විසින් Doha Diamond League මලල ක්‍රීඩා තරග අදියරට ද සහභාගී වීමට සූදානමින් සිටිනවා. 

එම තරග විස්තර ද ඇතුළුව දෙස්, විදෙස් මලල ක්‍රීඩාව පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<