දෝනිගේ චෙන්නායි පැරදූ මාලිංගලාගේ මුම්බායි දෙවැනි වරටත් ශූරයෝ වෙති – අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය

136

පසුගියදා නිමාවූ 8 වැනි ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ අවසන් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 41ක ජයක් ලබාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයන් බවට පත්වීමට සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 202 ක් රැස්කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 161 ක් පමණි.

තරගාවලියේ මුල සිටම කැපීපෙනෙන දස්කම් දැක්වූ ලසිත් මාලිංග මෙම තරගයේදීද මුල් පන්දුවාර 2 තුළදී ලකුණු 7ක් පමණක් දී තම පන්දුවාර 4 තුළ ලකුණු 25කට කඩුලු දෙකක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර ඔහු කඩුලු 24ක් දවා ගනිමින් සමස්ත තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්වීමද කැපීපෙනෙන සිදුවීමක් විය.

 

තරග සාරාංශය

මුම්බායි ඉන්දියන්ස් (පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී) _ 202 (ලැන්ඩි සිමන්ස් 68, රෝහිත් ශර්මා 50, ඩ්වේන් බ්‍රාවෝ 36/2, ඩ්වේන් ස්මිත් 17/1)

චෙන්නායි සුපර් කිංග්ස් (පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී) _ 161 (ඩ්වේන් ස්මිත් 57, සුරේෂ් රයිනා 28, මයිකල් මැක්ලෙනගන් 25/3, ලසිත් මාලිංග 25/2)