ශ්‍රී ලංකා A කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

720
Rumesh Rathnayake

හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. ඒ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A සහ පාකිස්තාන A තරගාවලිය ඉලක්ක කර ගනිමිනුයි.

තරගාවලියේ නිල කාලසටහන අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිවේදනය කළ අතර තරගාවලිය ඔක්තෝබර් 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

රුමේෂ් රත්නායක මින් පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා. ඔහු මින් පෙර අවස්ථා ද්විත්වයක දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු මේ වන විට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ වේගපන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව ඉදිරියේ දී පාකිස්තාන A කණ්ඩායම සමඟ සිව්දින තරග 2ක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර සංචාරකයින් ඔක්තෝබර් 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

සිව්දින තරග පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිත අතර එක්දින තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. බොහෝ විට එම තරග කොළඹ දී පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොර ජෛව ආරක්ෂිත පරිසරයක පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙනිය සහ ඇන්ජලෝ මැතිව්ස් සිව්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා A සංචිතය නියෝජනය කිරීමට ඉහළ සම්භාවිතාවක් සහිතයි.

එමෙන්ම ඔවුන් මෙම තරගාවලියේ දී ලබා ගන්නා අත්දැකීම්, නොවැම්බර් 21 සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

තරග කාලසටහන,

  • පළමු සිව්දින තරගය – ඔක්තෝබර් 28 – ඔක්තෝබර් 31 – පල්ලෙකැලේ දී
  • දෙවැනි සිව්දින තරගය – නොවැම්බර් 4 – නොවැම්බර් 7 – පල්ලෙකැලේ දී
  • පළමු එක්දින තරගය – නොවැම්බර් 10
  • දෙවැනි එක්දින තරගය – නොවැම්බර් 12
  • තෙවැනි එක්දින තරගය – නොවැම්බර් 15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<