රාජකීය-ශාන්ත ‍තෝමස් නිල් මහ සටන

792

නිල් මහා සටන යනු මෙරට පාසල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ පැවැත්වෙන ප‍්‍රධානතම සහ පැරනිතම තරඟයකි. කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරඟාවලිය මෙවර පවත්වන්නේ 137 වැනි වරටය.

ඩයලොග් ආසිආටා සමාගමේ සත්කාරත්වයෙන් ඇරඹෙන තරඟාවලිය මෙම මස 10, 11 සහ 12 යන දිනයන් හි කොළඹ SSC පිටියේදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම තරඟයේ ඉතිහාසය 1879 වර්ෂය දක්වා දිව යන අතර සඳහන් කල ආකාරයටම එය මෙරට පැරණිතම පාසල් ක‍්‍රිකට් සටනයි. මෙයට නිල් මහ සටන ලෙස නම පටබැදුනේ, පාසල් දෙකේ ධජයන් ද්විත්වයෙහිම වූ නිල් පැහැයන් නිසාය. රාජකීය විදුහල් ධජය නිල් සහ රත‍්‍රං පැහැයෙන් අලංකාර වන සේම තෝමස් ධජය නිල් සහ කළු පැහැයෙන් හැඩව ඇත.

1879 යේදී මුල් වරට මෙම සටන සිදුව ඇත්තේ කොළඹ ඇකඩමිය ලෙසට එකල හැදින්වු රාජකීය විදුහල හා ශාන්ත තෝමස් විදුහල අතරය. අද වන විට දින තුනක් පුරා තරඟ වදින මෙරට එකම පාසල් ක්‍රිකට් තරඟය ද මෙයයි. 1901 සහ 1902 යන වර්ෂවල තෝමස් විද්‍යාලයේ නායකත්වය දැරුත්, නිදහස් ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා වූත් ඩී එස් සේනානායක මහතාගේ නමින් මෙහි ජයග‍්‍රාහි ඵලකය නම් කර ඇත. මෙම ඵලකය මුල්ම වරට කරලියට ආවේ 1928  දීය. මේ තරඟය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර 2013 දී පැවති තරඟයෙන් ජයග‍්‍රහනය කළ රාජකීය විදුහල අද වන විට මෙම ඵලකයේ වර්තමාන අයිතිකැරවන්ය.

මෙම පාසල් දෙකම රටට දායාද කල දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ගණන මෙතෙකැයි කියා කිව නොහැක. ආචාර්ය සි.එච් ගුණසේකර, සාර්ගෝ ජයවික‍්‍රම, කර්නල් එෆ්.සි. ද සේරම්, සතී කුමාරස්වාමි, සි.අයි ගුණසේකර, ගාමිණි ගුනසේන සහ රන්ජන් මඩුගල්ල එවැනි ක‍්‍රිඩකයින්ට කදීම උදාහරණයන් ය. ඒ.සි අමිත්, ඩි එල් ද සේරම්, එස් සරවනමුත්තු, වෙරෝන් ප‍්‍රින්ස්, මයිකල් තිසේරා, ආචාර්ය බී.ජි රෙයිඩ්, අනුර තෙන්නකොන් සහ ඩුලිප් මෙන්ඩිස් යන ක‍්‍රිඩකයින් ශාන්ත තෝමස් මව්තුරැලින් රටට බිහිවුවෝය.

මහ සංග්‍රාමය සෑම අවස්ථාවකදීම බ‍්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන් කේන්ද්‍ර‍ කර ගනිමින් පැවැත්වෙන අතර එම දිනයන් හීදි පාසල් දෙකෙහිම සිසුන් හට නිවාඩු ලබා දෙන අතර සියළු සිසුන් තම  පාසල වෙනුවෙන් ජය කෙහෙළි නැංවීමට යාම මෙහි පවතින සංස්කෘතියයි. මීට වර්ණවත් සැරසිලි, තූර්යවාදක කණ්ඩායම් ආදිය ද ඇතුලත් වෙමින් මනස්කාන්ත සැණකෙලියක අසිරිය විද්‍යාමාන කරයි. මෙය සැබෑවටම පැරණි මිත‍්‍රත්වයන් යළි අළුත් කර ගන්නා සොඳුරු සැණකෙලියකි.

මෙවරත් මෙම නිල් මහ සටන සජිවීව විකාශනයට ThePapare.com අප සූදානම් අතර පාසල් දෙකටම අපේ සුභ පැතුම් ද එක් කරන්නෙමු.