“ඒක හරියට මාලිංග සහ Bumrah පන්දු යවනවාට සමාන දෙයක්”

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

5434

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2022 ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (13) නිමා වූයේ ඉන්දීය රුපියල් බිලියන 5.2ක වටිනාකමක් සමඟින්.

ඒ අතරින් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී Mumbai Indians මිල දී ගත් ක්‍රීඩකයන් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 15.25ක මුදලකට කඩුලු රකින ක්‍රීඩක Ishan Kishan මිල දී ගත් අතර එය මෙවර වෙන්දේසියේ ඉහලම වටිනාකම ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 8කට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer මිල දී ගැනීමයි.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) පස් වතාවක් ශූරතාවය දිනා ගැනීමට සමත් වූ Mumbai Indians මෙම දෙදින වෙන්දේසියේ දී තරමක් නිහඬව සිටි නමුත් සිත් ඇදගන්නා මිල දී ගැනීම් කිහිපයක් සිදු කර තිබුණා.

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ සිටම Mumbai Indians කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය වසරේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව Mumbai Indians කණ්ඩායමට ලසිත් මාලිංගගේ අඩුව පිරවිය හැකි අයෙකු අවශ්‍ය වූ බව පෙනෙන්නට තිබුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ප්‍රබලතම පන්දු යවන්නා වූ ලසිත් මාලිංග ඉනිමේ අවසන් පන්දුවාර කීපයේ දී නිරවද්‍යතාවයකින් සහ නිවැරදි එල්ලයක් සමඟින් පන්දු යැවීම සම්බන්ධයෙන් අසමසම දස්කම් දැක්වීමට සමත් වුනා.

වසර කීපයක් පුරාවට Mumbai Indians කණ්ඩායම තුළ සිය පන්දු සගයා වූ Jasprit Bumrah තනි කිරීමට මාලිංග ගත් තීරණය Mumbai Indians කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත්ව තිබුණා. ඒ අනුව පසුගිය IPL තරගාවලි දෙකේ දී Mumbai Indians කණ්ඩායමේ පන්දු බලඇණියේ වගකීම පැවරී තිබුණේ Jasprit Bumrahට සහ Trent Boult හටයි.

නමුත් Trent Boult ඉන්දීය රුපියල් කෝටි 8කට Rajasthan Royals වෙත යාමත් සමඟ Mumbai Indians සිය වේගපන්දු බලඇණියට Jofra Archer එක් කරගෙන තිබුණා. Jofra Archer මේ වන විට ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිය ද ඔහු දැනට දිගුකාලීන ආයෝජනයක් ලෙස සලකමින් ඔහුව මිල දී ගැනීමට Mumbai Indians තීරණය කර තිබුණා.

ඒ අනුව 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එංගලන්ත වේගපන්දු යවන්නා සහභාගී නොවූවද Mumbai Indians ඔහුව ලබා ගැනීම සඳහා දැඩි සටනක නිරත වනු දක්නට ලැබුණා.

Rajasthan Royals සහ Sunrisers Hyderabad සමඟින් දැඩි සටනකින් පසු වෙන්දේසියේ දෙවැනි දිනයේ දී Jofra Archer තම කණ්ඩායමට එක් කර ගැනීමට ඔවුන් සමත් වුනා.

Jofra Archer Mumbai Indians සමඟින් එක්වීම පිළිබඳව බොහෝ දෙනා සිය අදහස් දක්වා තිබුණා. එහි දී හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Irfan Pathan පවසා සිටියේ මෙම එක්වීම මෙවර වෙන්දේසියේ ප්‍රබලතම තීරණය බවයි. Mumbai Indians කණ්ඩායම වෙන්දේසියේ වැඩි කොටසක දී නිශ්ශබ්දව සිටියේ ඔවුන් Jofra Archer මිල දී ගැනීමට දැඩි අධිෂ්ඨානයකින් සිටි නිසා බවත් Irfan Pathan පවසා සිටියා.

“Mumbai Indians කණ්ඩායම Jofra Archerගේ නම එනතුරු බලාගෙන හිටි‍යා. ඒක උපක්‍රමශීලී තියුණු තීරණයක්. Archer මේ අවුරුද්දේ ක්‍රීඩා කළේ නැතත් කවදාහරි ඔහු Bumrah එක්ක පන්දු යවනවා. ඒක හරියට Mumbai Indians වෙනුවෙන් මාලිංග සහ Bumrah පන්දු යවනවාට සමාන දෙයක්”, Star Sports වෙත අදහස් දක්වමින් Irfan පවසා සිටියා.

Jofra Archer Mumbai Indians සමඟ එක්වීම පිළිබඳව Mohammad Kaif ද සුබවාදී ලෙස අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ Mumbai Indians වැනි කණ්ඩායමක් සමඟින් එක්වීම Archerට වාසිදායක වන බවයි.

අපි ඔහුව මාස හයකට වැඩි කාලයක් ක්‍රීඩා කරනවා දැකලා නැහැ. ඒ වගේම ඔහු නැවත කවදා ක්‍රීඩා කරාවි ද කියලා අපි දන්නේ නැහැ. ඒත් Mumbai Indians ගත්ත මේ තීරණය ඉදිරි වසර තුන හතර තුළ ඔවුන් සඳහා විශිෂ්ට තේරීමක් වේවි. Archer Bumrah සුසංයෝගය අතිවිශිෂ්ට එකක් වේවි”, ඔහු පවසා සිටියා.

Mumbai Indians කණ්ඩායමේ හිමිකරු වන Aakash Ambani ද ඔවුන්ගේ මේ ආන්දෝලනාත්මක මිල දී ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ තමන් මේ අවස්ථාව විශාල ආයෝජනයක් ලෙස දකින බවයි.

ඔහු මේ වසරේ ක්‍රීඩා කරන්නේ නැති වුනත් ඔහු ලබන වසරේ ක්‍රීඩා කරන්න ඒවි. අපගේ පන්දු බලඇණියට Archer Bumrah වගේ දෙදෙනෙකුගේ ප්‍රබල සුසංයෝගයක් හදන්න පුළුවන් වීම ගැන අපි ඉතා සතුටු වෙනවා”, Aakash Ambani පවසා සිටියා.

Archerගේ මිල දී ගැනීමට පෙර Mumbai Indians මෙම වසරේ වෙන්දේසියේ වැඩිම මිල දී ගැනීම ද සිදුකර තිබුණා. එහි දී ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 15.25ක මුදලකට කඩුලු රකින ක්‍රීඩක Ishan Kishan මිල දී ගත් අතර දෙවැනි දිනයේ දී ඉන්දීය රුපියල් කෝටි 8.25කට Tim David මිල දී ගෙන තිබුණා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<