චෝදනාවක් මත, රොනාල්ඩෝ පෘතුගාල කණ්ඩායමෙන් ඉවතට

555
Cristiano Ronaldo
Reuters - images.thestar.com

ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු සේ සැලකෙන පෘතුගාල ජාතික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාත්‍යන්තර පාපන්දු සංචිතයෙන් ඉවත් කොට තිබේ. ඊට හේතුව පසුගිය දා ඔහුට එරෙහිව නෙවාඩා අධිකරණයට ගොනුකළ දූෂණ නඩුවකි.

2009 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී සිදු වූයේ යැයි කියන කාන්තා දූෂණයක් සම්බන්ධයෙනුයි මේ නඩුව ගොනු වී ඇත්තේ. කැතරින් මයෝර්ගා නම් කාන්තාව, රොනාල්ඩෝ විසින් මෙසේ තමන්ව දූෂණය කළ බව පවසා ඇත. කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

මේ මාසයේ දී පෘතුගාල කණ්ඩායම සහභාගී වන, පෝලන්තයට සහ ස්කොට්ලන්තයට එරෙහි තරග වලට ඔහුව සහභාගී නොකරගන්නට පෘතුගාල පාපන්දු සම්මේලනය පවසයි. පෘතුගාලය වෙනුවෙන් මෙතෙක් වැඩිම ගෝල වාර්තා කළ සහ වැඩිම තරග ගණනකට ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩකයා වන ඔහු පසුගිය මාසයේ දී පැවති පෘතුගාල – ක්‍රොඒෂියාව සහ පෘතුගාල – ඉතාලි තරගවලින් ද ස්වකැමැත්තෙන්ම ඉවත්වී සිටියේය.

සුපිරි පාපන්දු ක්‍රීඩක 33 හැවිරිදි රොනාල්ඩෝ, පසුගිය ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කොට, මේ වසරේ දී ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායම වෙත මාරු විය. පසුගිය වසරේ දී ද ඔහුට ආදායම් බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවක් සහ තරගයක් අතරතුර කලහකාරී ලෙස හැසිරීම පිළිබඳ චෝදනාවක් එල්ල විය.

ලොව ධනවත්ම ක්‍රීඩකයන් 5 දෙනා අතරද සිටින රොනාල්ඩෝගේ අනුග්‍රාහකයන් වන EA සහ Nike යන සමාගම් ද මේ වන විට පවසන්නේ තමන් මේ නඩු විභාගය ගැන අවධානයෙන් පසුවන බවයි.

” අපි මේ චෝදනාවන් ගැන ගැඹුරින් සලකා බලමින් මේ තත්වය අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙනවා.” නයිකි සමාගම රොයිටර් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

Nike සමාගම සහ රොනාල්ඩෝ අතර පවතින ගිවිසුම ජීවිතාන්තය දක්වා වලංගු එකක් වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනය ද ඉක්මවන බැව් වාර්තා වේ.

“අපත් මේ තත්වය අධ්‍යයනය කරමින් සිටිනවා. අපගේ සන්නාම තානාපතිවරුන් සහ ක්‍රීඩකයන් අපගේ වටිනාකම් අගය කරමින් තමන්ව හසුරුවා ගනීවි යැයි අප බලාපොරොත්තු වෙනවා.” රොයිටර් වෙත මෙසේ අදහස් පළකර තිබුණේ EA Sports සමාගමයි. ඔවුන්ගේ FIFA පරිගණක ක්‍රීඩා තැටි කවරය මත වසර දෙකක් පුරාවටම පවතින්නේ රොනාල්ඩෝගේ රුවයි.

කෙසේ වෙතත් තත්වය නියමාකාරයෙන් විසඳේවි යැයි පාපන්දු ප්‍රේක්ෂකයන් සහ රොනාල්ඩෝ අනුගාමිකයන් වන ඔබ ද බලාපොරොත්තු වනවා ඇති.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<