රියෝ තරග බිමේ 7 වන දිනය නිමාවන විට ලෝක වාර්තා පොතට නව පිටු රැසක් එක් කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. රියෝ ඔලිම්පික් උළෙලේ ඇස ගිය තැන් කිහිපයක තොරතුරුයි මේ.

පසුගිය ලිපි: රියෝ උණුසුම – ෆීජී දූපත් පළමු ඔලිම්පික් පදක්කම දිනා ගනී

කේටි ට තවත් ලෝක වාර්තාවක්.

katie ledecky
ඇමරිකානු ක්‍රීඩිකා කේටි ලිඩෙකි

කාන්තා මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙනුත් නව ලෝක වාර්තාවක් පිහිටවූ ඇමරිකාවේ කේටි ලිඩෙකි මීටර් 800 නිදහස් ආර ඉසව්වේ කාන්තා ලෝක වාර්තාව ද අලුත් කරන්නට සමත් විය. ඒ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම සඳහා මිනිත්තු 8යි තත්ත්පර 04.79ක කාලයක් වාර්තා කරමිනි.

ලිඩෙකි මෙවර ඔලිම්පික් උළෙලේ තමන් සහභාගී වූ ඉසව් 5 තුලදී රන් පදක්කම් 4ක් සහ එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඔලිම්පික් විශිෂ්ටයාට අවසන් රන් පදක්කම අහිමි වෙයි.

මයිකල් ෆෙල්ප්ස්
මයිකල් ෆෙල්ප්ස්

ඇමරිකාවේ මයිකල් ෆෙල්ප්ස් හට තම අවසන් ඉසව්ව වූ මීටර් 100 සමනල ආර ඉසව්වේ රිදී පදක්කමින් සෑහීමකට පත් වන්නට සිදුවිය. සිංගප්පූරුවේ ජෝසප් ස්කූලින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 50.39ක කාලයක් වාර්තා කරමිනුයි. ෆෙල්ප්ස් සහ දකුණු අප්‍රිකාවේ චැඩ් ලෙ-ක්ලෝස් තත්පර 51.14ක කාලයක් සමගින් සම රිදී පදක්කම් දිනා ගන්නට සමත් විය.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙන් පසු ක්‍රීඩාවෙන් සමු ගත්තද රියෝ ඔලිම්පික් උළෙලේදී තම නැවත පැමිණීම සටහන් කල මයිකල් ෆෙල්ප්ස් මේ අනුව තම ක්‍රීඩා දිවියේ අවසන් ඔලිම්පික් උළෙල බවට බොහෝදුරට පත් විය හැකි මෙම තරගාවලිය අවසන් කලේ ගොන්න රන් 22ක් ඇතුළු පදක්කම් 27කට හිමිකම් කියමිනුයි.

මලල ක්‍රීඩා පළමු ලෝක වාර්තාව ඉතියෝපියාවට

10,000 medals
අල්මාස් අයානා (මැද) විවියන් චෙරියට් (වම) තිරුනේෂ් දිබාබා (දකුණ)

ඊයේ දිනය රියෝ ඔලිම්පික් මලල ක්‍රීඩා පිටියේ ඉසව් ආරම්භ වූ දිනය විය. එහිදී පැවති අවසන් තරග අතුරින් පිරිමි කිලෝ මීටර් 20 තරග ඇවිදීමේ රන් පදක්කම චීනයේ ෂෙන් වැන්ග්  හටත් කාන්තා යගුලිය විසිකිරීමේ රන් පදක්කම ඇමරිකාවේ මිචෙල් කාටර් හටත් හිමි විය.

කාන්තා මීටර් 10,000 දවසේ වඩාත්ම අවධානය යොමුවූ මලල ක්‍රීඩා ඉසව්ව බවට පත් විය. දිගු දුර ධාවන ඉසව්වල අප්‍රිකානු ආධිපත්‍ය යලි ප්‍රදර්ශනය කෙරුණු මේ තරගයේ පදක්කම් සියල්ල ඉතියෝපියාවට සහ කෙන්යාවට හිමි විය.

ඉතියෝපියාවේ අල්මාස් අයානා රන් පදක්කම දිනා ගත්තේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමිනුයි. ඇයගේ තරග නිමි කාලය මිනිත්තු 29යි තත්ත්පර 17.45 ක්. කෙන්යාවේ විවියන් චෙරියට් රිදී පදක්කමටත් ඉතියෝපියාවේම තිරුනේෂ් දිබාබා ලෝකඩ පදක්කමටත් හිමිකම් කීය.

බර ඉසිලීමෙන් ලෝක වාර්තා 2ක්.

ඉහලින් Kianoush Rostami ටියෑන් පහලින්
ඉහලින් Kianoush Rostami සහපහලින් ටාඔ් ටියෑන්

පිරිමි 85kg කාණ්ඩයේ බර එසවීමේ තරගයේදී ලෝක වාර්තා දෙකක් අලුත් කරන්නට ක්‍රීඩකයන් දෙදෙනෙක් සමත් විය. එම ඉසව්වේ ක්ලීන් ඇන්ඩ්  ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 217ක් එසවූ චීනයේ ටාඕ ටියෑන් ලෝක වාර්තාවක් අලුත් කරන්නට සමත් වුවත් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඔහුට හැකි වුනේ නැහැ.

සමස්ත බර කිලෝග්‍රෑම්  396ක දක්ෂතාවක් දක්වූ  ඉරාන ක්‍රීඩක Kianoush Rostami නව ලෝක වාර්තාවක්ද බිහි කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී සමස්ත බර කිලෝ ග්‍රෑම් 395ක් ලෙස දැක්වුණු ටියෑන් හට හිමි වුනේ රිදී පදක්කමයි.

විගින්ස්ටත් පදක්කමක්

Sir Bradly Wigghins
ශ්‍රීමත් බ්‍රැඩ්ලි විගින්ස්

ඔලිම්පික් ගෘහස්ත පාපැදි ඉසව් දෙකකින්ද නව ලෝක වාර්තා බිහි විය. ඉන් එක වාර්තාවකට දායකවූ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් බ්‍රැඩ්ලි විගින්ස් බ්‍රිතාන්‍ය ඔලිම්පික් ඉතිහාසය අලුත් කලේ වැඩිම ඔලිම්පික් පදක්කම් ලාභී බ්‍රිතාන්‍යයා බවට පත් වෙමින්.

ගෘහස්ත කණ්ඩායම් ධාවන ඉසව්වකින් නව ලෝක වාර්තාවක්ද බිහි කරමින් ජයගත් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස බ්‍රැඩ්ලි විගින්ස් දිනාගත්තේ තම 9වන ඔලිම්පික් පදක්කම වන අතර එය ඔහුගේ 5වන රන් පදක්කමයි.

මේ අතර කාන්තා කෙටිදුර කණ්ඩායම් පාපැදි ඉසව්වකින් නව ලෝක වාර්තාවක් බිහි කරන්නට චීන ක්‍රීඩිකාවන් සමත් විය.

නඩාල්ට රන් පදක්කමක්

Rafa Nadal
මාක් ලෝපේස් (වම) සහ රෆායල් නඩාල් (දකුණ)

පිරිමි යුගල ටෙනිස් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට රෆායල් නඩාල් ප්‍රමුඛ ස්පාඥ්ඥ යුගලය සමත් විය. ඒ අවසන් තරගයේදී රුමේනියානු ක්‍රීඩකයන් පරාජය කරමිනි.

මාක් ලෝපේස් සමග එක්ව මේ රන් පදක්කම දිනා ගත්තද නඩාල් ආබාධයක් හේතුවෙන් රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම පිලිබඳ අවසන් මොහොත වනතුරු අවසන් තීරණයක් ගෙන තිබුනේ නැත. කෙසේ වෙතත් මනා සූදානමකින් යුතුව පැමිනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ටෙනිස් පිටියෙන් ඉවතට විසි වෙද්දී නඩාල් මේ වන විට පිටිමි කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා ඇත.


අද පස්වරුවේ ඔලිම්පික් මලල ක්‍රීඩා තරගබිමේ වඩාත්ම අවධානය යොමුවූ ක්‍රීඩකයාගේ පළමු වටයේ තරගයක් පැවැත්වීමට නියමිතයි. ‘ලොව වේගවත්ම මිනිසා’ යන විරුදාවලිය තවත් වසර 4කින් දීර්ඝ කර ගැනීමේ අරමුණින් තරග වදින උසෙයින් බෝල්ට් ගේ ඉදිරි ගමනේ තොරතුරුද සමගින් හෙට දිනයේත් යලි හමුවෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලි දවසක්!

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

– අද දිනය නිමාවන විට පදක්කම් සටහන –

Medal Tally August 13