ඕස්ට්‍රේලියාව සමඟ එක්දින තරගාවලියක් පිළිබඳව ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වෙයි

1492
Sri lanka tour Australia

එළැඹෙන 2017 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට අමතරව එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇතැයි “මව්බිම”ට වාර්තා වේ.

ඕස්‌ට්‍රේලියාවේ විස්‌සේ ඇරයුම භාරගන්න ශ්‍රී ලංකාව එක්‌දින තරග තුනක් ඉල්ලයි

ලබන වසරේ පෙබරවාරි මාසයේදී තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබූ අතර, මෙය දින ගණනක කෙටි තරගාවලියක් බැවින් එයට එක්දින තරග කිහිපයකුත් ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උත්සාහ දරා තිබිණි.

පසුගිය ඉරිදා (24දා) ඩුබායි නුවර පිහිටි අයි.සී.සී. මූලස්ථානයේදී පැවැති විධායක සභා රැස්වීම අතරතුරදී මේ කරුණ පිළිබඳව කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ලැබුණු බව එම විධායක සභා රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක අෑෂ්ලි ද සිල්වා මහතා “මව්බිම”ට පැවැසීය.

විස්සයි-20 තරග තුනට අමතරව තවත් එක්දින තරග තුනක් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඒත් එම කාල වකවානුව වනවිට ඕස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායම විතරයි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායම එම කාලයේදී ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දියාවේ යන නිසා අපේ ඉල්ලීම සාර්ථක වුණේ නැහැ. ඒත් විස්සයි-20 තරගාවලියට පෙර පුහුණුවීම් තරග දෙකක් ලබා දෙන්න ඔවුන් අපට එකඟ වුණා” යැයිද අෑෂ්ලි ද සිල්වා මහතා පැවැසීය.

මේ අනුව ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2017 වසරේ පෙබරවාරි 17, 19 හා 22 යන දිනවලදී පැවැත්වෙන නමුත් එම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ මේ වන විට ප්‍රකාශයට පත් කර නොමැත.

කෙසේ වෙතත් ටෙස්ට් තරග තුනක්, එක්දින තරග 5ක් හා විස්සයි-20 තරග දෙකක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම එළැඹෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ඔවුන් මෙවැනි තරගාවලියක් සඳහා පැමිණෙන්නේ 2011 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.