ශෂික සාන්ත සර්වේශස් අවසන් තරගයට ගෙන යයි

420
U17 Cricket

ශෂික දුල්ශාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලය පරදවා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (23දා) සමත් වූහ. ඒ කොළඹ මුවර්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කර ගනිමිනි.  

සාන්ත අන්තෝනුවෝ අවසන් තරගයට

ආරම්භයේ සිටම අගනුවර ක්‍රීඩකයන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන

කාසියේ වාසිය දිනූ නාලන්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පන්දුවාර 49.3ක දී සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී ප්‍රබල නාලන්ද විද්‍යාලයීය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ තරගය නිමා වීමට තවත් පන්දු 27ක් ඉතිරිව තිබිය දී ලකුණු 195ක් පමණි.

තරගයේ සම්පූර්ණ ගෞරවය සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායමේ උප නායක ශෂික දුල්ශාන් ලබා ගත්තේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමිනි. පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 49ක් ව තිබිය දී පිටියට පිවිසි ශෂික අගනා අර්ධ ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ගෞරවනීය තත්ත්වයක තැබීමට දායක විය.

එමෙන් ම පිළිතුරු ඉනිමේ දී නාලන්ද ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබා ප්‍රබල තත්ත්වයේ පසුවෙද්දී වමතින් දඟපන්දු යැවූ ශෂික තමන්ගේ අට වැනි පන්දුවාරයේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් නාලන්ද ක්‍රීඩකයන් සතුව තිබූ ජයක් තම කණ්ඩායමට සන්තක කර දුන්නේ ය. තරගය නිමා වන විට ශෂිකගේ පන්දු යැවීම වාර්තා වී තිබුණේ පන්දුවාර 7.3ක දී ලකුණු 20කට කඩුලු 4ක් ලෙස ය. ශෂිකගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූයේ  වර්ෂ ආනන්ද, කවීෂ් මධුරප්පෙරුම සහ ජනිත් ජයරත්න ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේශස් කණ්ඩායම් ඉනිමේ සම්පූර්ණ ගෞරවය නායකයා සහ උප නායකයා හිමිකර ගත් අතර ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 117කි. එහි දී නායක කේශර නුවන්ත පන්දු 77ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේ ය. උපනායක ශෂික දුල්ශාන් පන්දු 95කට මුහුණ දෙමින් ලකුණු 51ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් තම ඉනිමට එක්කර ගනිමිනි. එම ඉනිමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 15 සීමාව පසු කිරීමට නාලන්ද ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත. නාලන්දීයයන් වෙනුවෙන් පන්දු යැවීමේ දී ජනිත් ජයරත්න කඩුලු 3ක් ලබා ගත් අතර වර්ෂ ආනන්ද සහ ජයෝද් කල්දේරා කඩුලු ද්විත්වය බැගින් ලබා ගත්හ.

නාලන්ද පිළිතුරු ඉනිම ඉතා ස්ථාවරව ආරම්භ වූ බවක් පළමු කඩුල්ලේ සිටම දැක ගැනීමට හැකි වුනත් එය අවසන් කඩුලු ත්‍රිත්වයේ දී ගිලිහී ගියේ ය. එම ඉනිමේ දී වැඩි කාර්ය භාරයක් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි උපනායක සචිත ගුණතිලක ඉටු කළේ ය. ඔහුගේ නොදැවුණ ඉනිම ලකුණු 57කි.

තරගය නිමා වන විට ඔහු පන්දු 85කට මුහුණ දී සිට අතර ඊට හතරේ පහර 6ක් ඇතුලත් කර තිබුණි. ඔහු තෙවැනි කඩුල්ලට චමිඳු විජේසිංහ (31) හා එක්ව ලකුණු  54ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක වුනි. ඊට අමතරව රුසර බානුක ලකුණු 32ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී ශෂිකට අමතර නවීන් සාහිත් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 30 වැනි දා කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

තරගයේ ලකුණු සාරාංශය

සාන්ත සර්වේශස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 206(49.3) කේශර නුවන්ත 70, ශෂික දුල්ශාන් 51, ජනිත් ජයරත්න 3/23, වර්ෂ ආනන්ද 2/23, ජයෝද් කල්දේරා 2/33

නාලන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 195(45.3) චමිඳු විජේසිංහ 31, සචිත ගුණතිලක නොදැවී 57, රුසර බානුක 32, නවීන් සාහිත් 3/32, ශෂික දුල්ශාන් 4/20

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට