ශ්‍රී ලංකා ක්‍රිකට්, අත්දැකීම් අඩුකමින් සහ ක්‍රීඩක කළමනාකරණය අතින් අර්බුදයක සිටින යුගයක වේගපන්දු යැවීමෙන් ඔවුන් ගලවා ගන්නට වෙරදරන නුවන් ප්‍රදීප්, දැනට ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ වේගපන්දු යවන්නායි.

ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද් ආබාධ නිසා තමන්ගේ ක්‍රිකට් දිවියේ හොඳම කාලය ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් කැපකිරීමට නොහැකිව සිත් තැවුලට පත්විය. ඉන් ඔවුන් පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාවම ගැටලුවකට පත්වූයේ මෙරට හොඳම වේගපන්දු යවන්නන්ගේ සේවය ටෙස්ට් ක්‍රීඩාව සඳහා අහිමි වීමෙනි.

සුරංග ලක්මාල්, ආබාධ හේතුවෙන් එක දිගට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක පසුවෙයි. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් ඒ අතින් අවාසනාවන්ත ය. එහෙත් ආබාධ, අභියෝග මැද බුද්ධිමත්ව වේගපන්දු යැවීමේ සමතෙකු වන නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාවට සම්පතකි. ඔහු මුහුණ දෙන වර්තමාන අභියෝග මෙන්ම, ක්‍රිකට් ක්‍රීඩාවට පා තැබීමේදී ද ඔහුට මුහුණපාන්නට වූ අභියෝග බොහෝයි.

ටෙනිස් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ තරුණ ගැටවුන් මෙන් ප්‍රදීප් ද ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන්නෙකු විය. එහෙත් ඔහුගේ දස්කම් දැක බලා ගැනීමට හෝ අගය කිරීමට කිසිවෙකු නොපැමිණි අතර ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට ඔහුට වත්කමක් ද නොවීය.

ප්‍රදීප්ගේ පියා මේසන්වරයෙකි. මීගමුවේ ජීවත් වූ ප්‍රදීප් හට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තලයට පිවිසීමේ මහත් වුවමනාවක් නොවූ නමුත් ගමේ ගොඩේ ක්‍රීඩා කිරීමේදී ඔහුගේ වේගවත් පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් ගණන බොහෝය.

නුවන් ප්‍රදීප්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ 2008/09 වසරවලදී යි. සිරස මාධ්‍ය ආයතනය විසින් පවත්වනු ලැබූ වේගපන්දු යවන්නන්ගේ වැඩමුළුවකට ප්‍රදීප් සහභාගී වූයේ සෙරෙප්පු කුට්ටමක් පැළඳගෙන ය. නවක එහෙත් උගත් වේගපන්දු යවන්නන් වේගමානය ඉදිරියේ පන්දු යවන අතරතුර ප්‍රදීප්ගේ වාරය උදා විය. අවසානයේදී සෙරෙප්පු කුට්ටමක් පැළඳගෙන සිටි “මේසන් බාසුන්නැහේගේ පුතා” යැවූ පන්දුවල වේගය රැස්ව සිටි සියළුදෙනා පුදුමයට පත්කළේය. පැයට කි.මී. 140කට වැඩි වේගයෙන් නුවන් ප්‍රදීප් එදා පන්දු යැවූයේ කිසිදු තාක්ෂණික පුහුණුවකින් තොරවයි.

එදා වැඩමුළුව මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් දැවැන්තයන් වූ අනූෂ සමරනායක, රවීන්ද්‍ර පුෂ්පකුමාර, චම්පක රාමනායක ආදීන් එක්ව සිටියේ ප්‍රදීප්ගේ වාසනාවටය. අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස් වැන්නවුන්ද මෙම වැඩමුළුවට සහය දැක්වූවන් විය.

ප්‍රදීප්ගේ පන්දු යැවීමේ වේගය පිළිබඳ උනන්දු වූ අනූෂ සමරනායක විසින් ඔහුව ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය වෙත යොමු කෙරුණේ ඉන් පසුවයි. නමුත් ප්‍රදීප්ට යා හැකි දුර දුටු ඊරිසියාකරුවන් චෝදනා කරන ලද්දේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවයි. ප්‍රදීප්ගේ වාසනාව යළිත් ඉදිරියට එන්නේ මේ මොහොතේදීය.

සිරස ආයතනයටම සම්බන්ධ ආදී ක්‍රීඩකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන සංජීව රණතුංග ඔහු පසුපසින් සිටගත්තේය. ප්‍රදීප්ව BRC ක්‍රීඩා සමාජය වෙත යොමු කෙරෙන්නේ ඉන් පසුවයි. එහිදී ලබාගත් වීඩියෝ දර්ශනවලින් ප්‍රදීප්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ නිරවද්‍යතාවය තහවුරු විය. දැනටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔහුට සුරතලයට අමතන්නේ ‘සිරස’ කියාය.

දේශීය තරග බිම සිය වේගවත් පන්දුවලින් වර්ණවත් කළ ප්‍රදීප්ට 2010 වසරේදී ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟින් ඕස්ට්‍රේලියානු සංචාරයකට එක්වීමේ වරම හිමි විය. එහිදී ලබාගත් කඩුලු ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් නොවූවත් ප්‍රදීප්, ‘දෙපිලේම’ පන්දු යවන්නන් අතරින් වැඩි වේගයක් සහිත පන්දු යවන්නෙකු විය.

කෙමෙන් කඩුලු ලබා ගැනීමේ කලාව අධ්‍යයනය කළ ප්‍රදීප් 2011 දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය. එනමුත් පිතිකරණයට වඩාත් සුදුසු මැදපෙරදිග තණතිලි මත දී ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැත.

පසුව ආබාධ සැණකෙළියක් බඳු වූ ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියේ වැඩි කාර්යභාරයක් ඔහුට හිමි වූ අතර ප්‍රදීප්ගේ සැබෑ දක්ෂතා එළිදැක්වුණේ ඒ යටතේයි. මේ වන විට නුවන් ප්‍රදීප් යනු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග 24ක දී කඩුලු 61ක් දවාගත් වේගපන්දු යවන්නෙකි. කිසිදා නොබිඳිය හැකි ලෝක වාර්තාවක්ද 2016 වසරේ දී ඔහු සතු විය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 10,000වන “කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම” සතුවන්නේ නුවන් ප්‍රදීප් සතුවයි. එහිදී ප්‍රදීප් හමුවේ දැවී ගියේ ලෝක පූජිත පිතිකරු හෂීම් අම්ලා ය.

Nuwan

පියවරෙන් පියවර ඉහළට නැග, තරග 24ක් සටන්කිරීමෙන් පසු තම ටෙස්ට් දිවියේ පළමු ‘කඩුලු 5 දස්කම’ දක්වන්නට ප්‍රදීප්ට හැකිවූයේ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිවයි.

“මම හත් අට වතාවක් කඩුලු 4 බැගින් දවා ගත්තා. මේ මගේ පළමු කඩුලු 5. මට ඉතාම සතුටුයි මට ඒක ලබා ගන්න පුළුවන් වුන එක ගැන.” එම දස්කමෙන් පසුව නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය. ඉන්දියාවට එරෙහිව පළමු ඉනිමේදී ඔහු විසින් දවාගත් කඩුලු ගණන ලකුණු 132කට 6කි. 2010 වසරෙන් පසු ගාල්ලේදී වේගපන්දු යවන්නෙකු විසින් කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව මෙය වේ.

සෙරෙප්පු කුට්ටමක් පැළඳ ආරම්භ කළ ඔහුගේ ක්‍රිකට් දිවිය ඉන් වසර 10ක් ඉක්මයන තැනදී සටහන් වන්නේ “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා” යන මුදුනතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, පසුගියදා මේ බව තහවුරු කළේය.

“ඔහු සෑම විටම උනන්දුවෙන් දිවගොස් පන්දු යවන කෙනෙක්. ඔහුට පන්දුව දෙපසටම දෝලනය කරන්න පුළුවන්. එංගලන්තයේදීත් හොඳින් පන්දු යැව්වා වගේම ඔහු සිම්බාබ්වේට එරෙහිවත් හොඳින් පන්දු යැවුවා. මේ වෙලාවේ අපට ඉන්න අංක එකේ වේගපන්දු යවන්නා ඔහු තමයි.” ගුරුසිංහ පවසා තිබිණි.

ක්‍රීඩකයන් ජාත්‍යන්තර පිටිය තුළ සදාකල් නොරැඳේ. ජ්‍යෙෂ්ඨයන් පිටවන විට නවකයන් දස්කම් දැක්විය යුත්තේ කෙසේද යන කරුණට යමෙකු පිළිතුරු සොයන්නේ නම් නුවන් ප්‍රදීප් යනු ඊට හොඳම උදාහරණයකි. නමුත් ඒ කිසිවකට වඩා ඔහුගෙන් උගත හැකි පාඩම නම්, “කිසිදු සම්පතක් හෝ හව්හරණක් නැතැයි සිතන නවකයන්ට ලොව ඉහළම තලයේ ක්‍රීඩා කිරීම ගැන සිහින මැවීමට සෑම අයිතියක්ම ඇත යන්න” යි. ඒ මන්ද යත් ඔබ දක්ෂයෙකු නම් නුවන් ප්‍රදීප්ට සේම වාසනාව ඔබ දෙස බලන දිනය කවදාක හෝ උදාවිය හැකි බැවිනි.

 >>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<