වාද්දුව ක්‍රීඩිකාවන් යොවුන් සේනාංකය පරාජය කරයි

Red Bull විශ්වවිද්‍යාල කාන්තා ක්‍රිකට් ශූරතාවය 2021

133

පළමු ප්‍රදර්ශනාත්මක තරගයේ දී පරාජයට පත් වූ Wadduwa Central ක්‍රීඩිකාවන්, අද (29) කොළඹ තර්ස්ටන් පිටියේ පැවති තෙවැනි ප්‍රදර්ශනාත්මක තරගයේ දී ජාතික යොවුන් සේනාංක ක්‍රීඩිකාවන් ලකුණු 67කින් පරාජය කරන්නට සමත් වුනා.

යොවුන් සේනාංක ක්‍රීඩිකාවන් කාසියේ වාසිය දිනා වාද්දුව ක්‍රීඩිකාවන්ට පිතිකරණය සඳහා ඇරයුම් කළා. එම තීරණය එතරම් සාර්ථක තීරණයක් නොවන බවට සනාථ කරමින් ලකුණු 85ක සබඳතාවක් පළමු කඩුල්ලට ගොඩනගන්නට වාද්දුව ක්‍රීඩිකාවන් සමත් වුනා.

ප්‍රසාදි විජේසිංහ සහ කවීෂ්කා රොශාන්ති වාද්දුව ක්‍රීඩිකාවන් මෙල්ල කරන්නට උත්සහ කළත්, නියමිත පන්දුවාර 20 අවසානයේ දී වාද්දුව ක්‍රීඩිකාවන් විසින් කඩුලු 4ක් දැවී ලකුණු 147ක ඉලක්කයක් යොවුන් සේනාංක ක්‍රීඩිකාවන් වෙත ලබා දුන්නා.

වැඩිම ලකුණුලාභිය වූ නෙත්මි පූර්ණා පන්දු 46ක දී වාර්තා කළ ලකුණු ප්‍රමාණය 55ක්.

අභියෝගාත්මක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි යොවුන් සේනාංක ක්‍රීඩිකාවන්ගේ ආරම්භක වෑයම අස්ථාවර කරමින් ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 28කට දවා ගන්නට වාද්දුව ක්‍රීඩිකාවන් සමත් වුනා.

එතැන් පටන් ඔවුන්ගේ කඩා වැටෙන ඉනිම ගොඩ ගැනීම කිසිදු ක්‍රීඩිකාවකට නොහැකි වූ අතර වාද්දුව ක්‍රීඩිකාවන් විසින් පන්දුවාර 19.4ක් අවසානයේ සියලු යොවුන් සේනාංක ක්‍රීඩිකාවන් දවා ගන්නා විට ඔවුන්ට රැස් කිරීමට හැකිව තිබුණේ ලකුණු 80ක් පමණයි.

පිට දඟපන්දු යවන ක්‍රීඩිකා නෙත්මි ගුණරත්න විසින් දක්ෂ පන්දු යැවීමක් වාර්තා කරමින් ඇයට නියමිත පන්දුවාර 4 අවසන් කළේ ප්‍රතිවාදී කඩුලු 6ක් ලකුණු 16ක් තුල දවා ගනිමිනුයි.

ලකුණු සාරාංශය:

  • Wadduwa Central 147/4 (20): නෙත්මි පූර්ණා 55 (46), නෙත්මි ගුණරත්න 36 (40), ප්‍රසාදි විජේසිංහ 1/17, කවිෂ්කා රොශාන්ති 1/23
  • ජාතික යොවුන් සේනාංකය – සියලු දෙනා දැවී ලකුණු 80 (19.4): ප්‍රසාදි විජේසිංහ 14 (25), සුගන්දිකා ප්‍රනාන්දු 12 (18), නෙත්මි ගුණරත්න 6/16, තරුෂි නිලූෂා 1/7

වාද්දුව ක්‍රීඩිකාවන්ට ලකුණු 67ක ජයග්‍රහණයක්.

Sky Academy සහ Esoft Metro Campus අතර තරගාවලියේ අවසන් තරගය හෙට (30) පැවැත්වීමට නියමිතයි. එම තරගයේ සජීව විකාශය ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<