Red Bull විශ්වවිද්‍යාල කාන්තා ක්‍රිකට් ශූරතාවය ESoft ක්‍රීඩිකාවන්ට

Red Bull විශ්වවිද්‍යාල කාන්තා ක්‍රිකට් ශූරතාවය 2021

95
RBCC Women's National Final ESoft v Sky Academy

Red Bull විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල පෙරළියක් කරන්නට සමත් වූ අතර ඔවුන් ඉන් ඔබ්බට ගොස් නවමු ආකාරයක විශ්වවිද්‍යාල කාන්තා ක්‍රිකට් තරගාවලියක් ප්‍රථම වරට මේ වසරේ දී සාර්ථකව පවත්වන්නට සමත් වුනා.

තරගාවලිය ඔක්තෝබර් මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වුණේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි.

කාලගුණයෙන් එල්ල වූ බාධා හමුවේ වුවත්, තරගාවලි දින 4ක් පුරාවට පැවැත්වීමට සංවිධායකයින්ට හැකි වූ නමුත් පැවැත්වීමට නියමිතව තිබුණු තරග 4න් එක් තරගයක් අයහපත් කාලගුණය නිසාවෙන් අතහැර දැමුණා.

පළමු ප්‍රදර්ශනාත්මක තරගයේ දී ESoft Metro Campus ක්‍රීඩිකාවන් විසින් කඩුලු දෙකක ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුනේ Wadduwa Central ක්‍රීඩිකාවන් පරාජය කරමිනුයි. එම තරගය ඉකුත් 27 වැනිදා පැවති අතර 29 වැනිදා පැවති දෙවැනි ප්‍රදර්ශනාත්මක තරගයේ දී වාද්දුව ක්‍රීඩිකාවන් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුනේ ජාතික යොවුන් සේනාංක ක්‍රීඩිකාවන් ලකුණු 67කින් පරාජයට පත් කරමිනුයි.

තරගාවලියේ වාද්දුව කණ්ඩායම සහ Sky Academy අතර ඉකුත් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය අතහැර දමන්නට සංවිධායකයින්ට සිදු වුනේ අයහපත් කාලගුණයේ බලපෑම් නිසාවෙනි.

අයහපත් කාලගුණය නිසාවෙන් පන්දුවාර 14කට සීමා කර තිබූ අවසන් තරගය ESoft Metro Campus සහ Sky Academy කණ්ඩායම් අතර අද (30) පැවැත්වුනා. කාසියේ වාසිය දිනූ Sky Academy ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන්ට පළමුවෙන් පන්දුවට පහර දෙන්නට ආරාධනා කළා.

එම ආරාධනාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ESoft ක්‍රීඩිකාවන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 14 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 103ක් වාර්තා කරන්නට සමත් වුනා.

දැවැන්ත ලකුණක් හඹා යන්නට පිටියට පිවිසි Sky Academy ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයේ සිහින විනාශ කරමින් පන්දුවාර 14 අවසානයේ දී ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වුනේ කඩුලු 5ක් දැවී ලකුණු 42ක් පමණයි.

ජාතික සංචිතය නියෝජනය කරන සත්‍යා සංදීපනී තරගයේ ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූ අතර ඇය පන්දු යැවීමෙන් 2/7ක් සහ පිතිකරණයෙන් ලකුණු 16ක් ද වාර්තා කළා.

අවසානයේ ESoft ක්‍රීඩිකාවන්, Red Bull විශ්වවිද්‍යාලය ක්‍රිකට් තරගාවලියේ මංගල ශූරතාවය සඳහා හිමිකම් කීවේ ලකුණු 61කින් Sky Acadamy ක්‍රීඩිකාවන් පරාජය කරමිනුයි.

ලකුණු සාරාංශ:

  • ESoft Metro Campus 103/7 (14) – සත්‍යා සංදීපනී 18 (16), ජනදි අනාලි 15 (7), ලක්මාලි රාජපක්ෂ 5/7
  • Sky Academy 42/5 (14) – සංසලා වනිගසේකර 21 (38), සත්‍යා සංදීපනී 2/7, නිමාෂා මදුෂානි 2/2

Red Bull විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය යනු විස්සයි විස්ස ආකෘතිය යටතේ සංවිධානය කරන, විශ්වවිද්‍යාල සිසුන් සඳහා සිය දක්ෂතා ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන වේදිකාවක් වන අතර මේ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය අධ්‍යාපන කටයුතු අඩාල කරගැනීමකින් තොරව ක්‍රීඩාව සමබරව පවත්වා ගෙන යෑමට අවස්ථාව සලසා දෙයි.

2012 වසරේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ මේ වන විට පිරිමි අංශයේ තරගාවලි 9ක් පවත්වා තිබෙන අතර මේ හරහා ජාතික සංචිත නියෝජනය කිරීමට වරම් ලද ක්‍රීඩකයින් ගණන සුළුපටු නොවේ.

Red Bull ක්‍රීඩිකාවක් මෙන්ම ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමෙන් කැප වී කටයුතු කරන චරිතයක්. #BigGirlsCan යන තේමාව යටතේ ක්‍රීඩිකාවන් මුහුණ දෙන බාධක සහ ගැටලු පිළිබඳව හඬක් නැගූ ඇය සමඟින් එකතු වෙමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්නට Red Bull විසින් මෙම විශ්වවිද්‍යාල කාන්තා තරගාවලිය හඳුන්වා දෙනු ලැබුවා.

Red Bull සංවිධායකයින් විසින් මෙම තරගාවලිය හරහා දේශීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය, එය ප්‍රචලිත කිරීම සහ ඒ වෙනුවෙන් ක්‍රීඩාලෝලීන් අතර ඇල්මක් ඇති කරන්නට උත්සහ දරන අතර සංවිධායකයින් විසින් එහි පළමු අදියරේ දී ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් සංවිධානය කරන්නට අපේක්ෂා කරයි.

මෙවර තරගාවලියේ දී ජනදි අනාලි, සත්‍යා සංදීපනි, ලක්මාලි රාජපක්ෂ සහ සංසලා වනිගසේකර යන ක්‍රීඩිකාවන් නැගීඑන ක්‍රීඩිකාවන් ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුනා.

Red Bull විසින් සංවිධානය කරන මෙම තරගාවලිය දක්ෂතාවලින් සන්නද්ධ යොවුන් ක්‍රීඩිකාවන්ට සිය හැකියාවන් විදහා දැක්වීම සඳහා වන වේදිකාවක් වන අතර මින් පෙර ක්‍රීඩාවෙන් ඉදිරියට එන්නට අවස්ථාවක් හිමි නොවූ දක්ෂයින් සඳහා අනාගතය ජය ගන්නට ඔවුන්ට පියාපත් ලබා දෙන්නට Red Bull මේ ඔස්සේ කටයුතු කරයි. තරගාවලියේ අවසන් දිනය ThePapare.com සහ Eye නාලිකාවේ සජීව ලෙස විකාශය කෙරුණා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<