සීයාගේ අඩිපාරේ යන යොවුන් ලෝක කුසලානයේ වැඩ පෙන්වූ මුනුබුරා

4969

ඒ 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලයි. මහා බ්‍රිතාන්‍යයට එරෙහිව ගෝලයක් වාර්තා කරමින් ඉන්දියාවට හොකී රන් පදක්කම දිනා දීමට Tarlochan Bawa සමත්ව තිබුණා. අවසන් තරගයේ දී ඔහුගේ ගෝලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබුණා.

ඉන් වසර 74කට පසු ඊයේ (05) Bawa පරම්පරාවේ නාමය නැවතත් රනින් සටහන් කිරීමට සමත් වුනා. ඒ සෙනසුරාදා ඇන්ටිගුවා හි පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඔහුගේ මුනුබුරා වන Raj Angad Bawa දැක්වූ දක්ෂතා සමඟින්.

එදා Tarlochan Bawa විසින් එංගලන්තය පරාජය කළා සේම අද Raj Angad Bawa සිය පන්දු යැවීමෙන් එංගලන්තය අසරණ කිරීමට සමත් වුනා.

ඊයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී Raj Angad Bawa පන්දුවාර 9ක දී ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්තය ගත් තීරණය නිවැරදි නොවන බව තහවුරු කිරීමට සමත් වුනා.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් එකිනෙකා Raj Angad Bawa හමුවේ දැවී යද්දී, ඉන්දීය කණ්ඩායම පහසු ඉලක්කයක් සහිත තරගයක් බවට සිය තරගය පරිවර්තනය කර ගැනීමට සමත්ව තිබුණා.

Raj Angad Bawa කුඩා කාලයේ දී ම Tarlochan Bawa මියගොස් තිබුණා. මේ නිසා Raj Angad හට තමන් සීයා සමඟ ගත කළ කාලය පිළිබඳ මතකයන් නැති වුවත්, Tarlochanගේ උරුමය Raj Angadගේ මනසෙහි සනිටුහන් කිරීමට ඔහුගේ දෙමාපියන් වග බලා ගෙන තිබුණා.

“මමයි, බිරිඳයි නිතරම කිව්වෙ එයාගෙ කාලේ ගැන තාත්තා මට කියපු කතා. 1948 දී එංගලන්තයට එරෙහිව ගෝලයක් වාර්තා කරලා ඉන්දියාවට රන් පදක්කම ගෙනාපු කතාව Raj Angadගේ මනසේ රැඳිලා තියෙන එක කතාවක්.

මගේ තාත්තා රන් පදක්කම එක්ක ඒ වේදිකාවෙ හිටගෙන ඉන්න එක එයා හිතින් මවාගෙන තිබුණා. එයාගෙ ඇඳුමේ මැහුම් එයාට දැනෙන්න තරම් එයාගේ පපුව ආඩම්බරයෙන් පිරිලා තිබුණා කියලා තාත්තා මට කිව්වා.

අවුරුද්දකට කලින් අපව පාලනය කළ රටකට ගිහින් අවසන් මහා තරගයේ දී ඔවුන්වම පරාජය කිරීම ලේසි දෙයක් නෙමෙයි. ඒක එසේ මෙසේ ආඩම්බරයක් නෙමෙයි. Raj Angad පොඩි කාලේ මේ කතා අහගෙන හිටියේ ගොඩක් ආසාවෙන්. ඔහු ඒ කතාවට වශී වෙලා හිටියේ”, Raj Angadගේ පියා වන Sukhwinder පසුගිය සෙනසුරාදා Times of India වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

“අපි මගේ පියාගේ රන් පදක්කම ඔහුගේ කාමරයේ දොරේ එල්ලා තිබුණා. හැමදාම උදේ ඔහු දකින පළමු දේ ඒ පදක්කම. එම පදක්කම ඔහුව දිරිමත් කරාවි කියලා අපි විශ්වාස කළා”.

Raj Angad මෙන්ම ඔහුගේ පියා වන Sukhwinder ද 1988 වසරේ දී ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තේරී පත්ව තිබුණා.

කෙසේ වෙතත් ඇතිවූ ආබාධ කීපයක් නිසා Sukhwinderගේ වෘත්තීය ජීවිතය කෙටි වී තිබුණා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වූ ඇල්ම නිසාම ඔහු තරුණ වියේ දී ම පුහුණුකරු බවට පත්ව තිබුණා. හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක Yuvraj Singh ද කලක් පුහුණු කර තිබුණා. Raj Angadගේ ක්‍රිකට් ගමන ආරම්භ වූයේ ඔහු තම පියා සමඟ අන්තර් දිස්ත්‍රික් තරගාවලි සඳහා Dharamshala වෙත ගිය අවස්ථාවේ දීයි.

“එතකොට එයාට වයස අවුරුදු 11ක් විතර ඇති. ක්‍රීඩක විවේකාගාරයේ දී පුහුණුකරු විදිහට මම ක්‍රීඩකයන් එක්ක කරන කතා අහලා ඔහුට කුතුහලයක් ඇතිවෙලා තිබුණා. ඉස්සර ඒ තරග හරිම සමීප ඒවා. ඒ තරග දැකලා ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තීරණය කළා”, Sukhwinder පවසා සිටියා.

ක්‍රිකට් ක්‍රීඩාවේ සූක්ෂ්ම සැලසුම් තේරුම් ගන්නා පියෙකු සිටීම Raj Angad හට ඔහුගේ මාවත සැලසුම් කිරීමට උපකාරී වී තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන් ද Raj Angad ඉදිරියෙන් සිට තිබෙනවා. පාසලේ දී මුල් තිදෙනා අතර සිටීමට සමත් වන Raj Angad පසුව කලා අංශයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය ද සම්පූර්ණ කර තිබෙනවා.

“මම ඉන්දීය ක්‍රීඩා අධිකාරියේ (SAI) පුහුණුකරුවෙක්. මම නිතරම ඔහුව පුහුණු කළා. මාව Gurgaon සිට Chandigarh වෙත මාරු කළත් මම දිගටම ඔහුව පුහුණු කළා. ඔහු කුඩා කාලයේ දී ම වේගපන්දු යවන්නෙක්. නමුත් මට අවශ්‍ය වූයේ ඔහුව පිතිකරුවෙක් කරන්න. ඒ නිසා මම ඔහුගේ අවධානය පිතිකරණයට යොමු කළා. ඒ වගේම මම ඔහුට පිට දඟපන්දු යවන්න දුන්නා. වයස අවුරුදු 16 දී ඔහු ඉතාමත් හොඳ පිතිකරුවෙක් වුනා. ඉන් අනතුරුව ඔහු නැවත වේගපන්දු යවන්න තීරණය කළා”, Raj Angadගේ ක්‍රිකට් දිවිය පිළිබඳව අදහස් දක්වමින් Sukhwinder පවසා සිටියා.

“වේගපන්දු යවමින් පිතිකරුවෙක් වෙන්න ලේසි නැහැ. ඒකට අවශ්‍ය කැපකිරීම ගැන මම දන්නවා. කුඩා කාලයේ දී ම ඔහුගේ ශරීරය අනවශ්‍ය විදිහට වෙහෙසට පත් නොකරන්න මම වග බලා ගත්තා. ඔහු දැන් පැයට කිලෝමීටර 130ක වේගයෙන් පන්දු යවනවා. ඔහු ලෝක කුසලාන තරගාවලිය නිමා කරලා ආපසු ආවම ඔහුගේ වේගය වැඩි කරන්න කටයුතු කරන්න ඕනේ. ඔහුගේ වේගය හොඳ නිසා ඔහුට දැන් පළමු පෙළ ක්‍රිකට් සඳහා සූදානම් වෙන්න පුළුවන්”, Sukhwinder වැඩිදුරටත් පවසා සිටියා.

19න් පහළ ලෝක කුසලානයේ දී දැවැන්ත ශතකයක් සහ අවසන් තරගයේ දී කඩුලු පහක් දවා ගැනීම ලබන සතියේ පැවැත්වෙන IPL වෙන්දේසියේ දී Raj Angad වෙනුවෙන් විශාල ලංසුවක් ලබා ගැනීමට ඉඩ තිබෙනවා. නමුත් Sukhwinder කියා සිටින්නේ Raj Angad තමන්ට ලැබී ඇති Bawa උරුමය තේරුම් ගෙන ඇති බවයි.

“ඉන්දියාවට ක්‍රීඩා කිරීම තමයි ඔහුගේ අවසාන ඉලක්කය. ඒ බව ඔහු දන්නවා. ඔහුගේ සීයාට ගරු කරන්න වෙනත් මාර්ගයක් නැහැ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෝ රන්ජි කුසලාන තරගාවලිය ඒ මාර්ගයේ එන පඩිපෙළක්”, Sukhwinder අවසන් වශයෙන් පවසා සිටියා.

Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<