ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියානු ක්‍රීඩා උළෙලට පස්ස ගහයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2022

2200

2022 ආසියානු ක්‍රීඩා උළෙල මේ වසරේ සැප්තැම්බර් 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ Hangzhou හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා 2014 වසරට පසුව නැවත වතාවක් ක්‍රිකට් ක්‍රීඩාව තරග ඉසව්වක් ලෙස ඇතුළත් කර තිබෙන නමුත්, කාන්තා සහ පිරිමි ඉසව් දෙකක් ලෙස පැවැත්වෙන මේ තරග ඉසව්ව සඳහා ඉන්දියාව සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙනවා.

2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී පිරිමි ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන නිසා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී කර වීම අවිනිශ්චිත බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වුවහොත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීමට ඇති සම්භාවිත සැලකිල්ලට ගනිමිනුයි.

එසේම කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව සඳහා හෝ ඔවුන්ගේ කණ්ඩායමක් සහභාගී කරවීම ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ, ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය තුල ඉන්දු – එංගලන්ත කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන නිසයි. එය ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පමණක් නොව එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ද ඉන්දීය කාන්තා කණ්ඩායම සහභාගී කරවීම පවා අවිනිශ්චිත වී තිබෙනවා.

“අපි තවමත් මේ ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් අපේ කණ්ඩායම් සහභාගී කරවනවා ද, නැද්ද කියලා අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. අපේ විධායක කමිටුව තුල ඒ ගැන එක එක මත තිබෙනවා තවම. අපි ඉදිරි දිනවල දී මේ පිළිබඳව හරි තීරණයකට එන්න බලාපොරොත්තු වෙනවා”, යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah මහතා Reuters වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

2010, 2014 යන ආසියානු ක්‍රීඩා උළෙලවල දී කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරග ඉසව් පැවැත්වී තිබෙන අතර එම එකඳු අවස්ථාවක හෝ ඉන්දියාව ඒ සඳහා සහභාගී වී නොමැති අතර පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පසුගිය තරගාවලිවල දී එහි රන් පදක්කම් දිනාගෙන වැඩි ගෞරවය දිනාගෙන තිබෙනවා.

ලොව ධනවත්ම ක්‍රිකට් ආයතනය වන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ කැමැත්ත නොමැතිව ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම විශාල බාධාවක් ලෙස සැලකෙනවා.

නමුත් 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් තරග ඉසව්ව ඇතුළත් කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ස්ථාවරත්වය වෙනස් කිරීම සඳහා ධෛර්යමත් කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<