දෙහදක බර දරා සිටි පුජාරාගේ සවිමත් හදවත

2197

මේ, ක්‍රිකට් පිතිකරුවන් අසාමාන්‍ය පහරවල්වලට පෙළඹෙන කාලයකි. හයේ පහරක ලකුණුවලට වඩා දුර ගැන සිතන කාලයකි. තරගවල ජයග්‍රහණ වලට වඩා ඒ සංදර්ශන වලට ප්‍රේක්ෂකයන් ඔල්වරසන් දෙන කාලයකි. මුළුමහත් ක්‍රිකට් ක්‍රීඩාවම ක්ෂණික නූඩ්ල්ස් මෙන් ඉක්මන් වූ කාලයක වුව චේතෙෂ්වර් පුජාරා, කම්මැලිකමේ සිටින ටෙස්ට් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අලුත්ම වීරයා ය.

ඔහුට අසාමාන්‍ය පහරවල් කිසිවක් නැත. ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික පහරවල් වන ඩ්‍රයිව්ස්, පුල්ස්, කට්ස් සහ ස්වීප්ස් ඔහුගේ පහර ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබෙන ඒවාය. ප්‍රතිවාදීන් තරහව අවුස්සන විට ඊට එකට එක කියන්නට නොගොස් පිටියේ ස්ථාවර වී ලකුණු වලින් පිළිතුරු ලබා දෙන ඔහු වැන්නන් වර්තමාන ක්‍රිකට් පිටියේ නැති තරම් ය. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වුණු 2018/19 බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග හතරේ ඉනිම හතක දී ඔහු විසින් වාර්තා කළ මුළු ලකුණු සංඛ්‍යාව 521කි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 193කි. ඉනිමක සාමාන්‍යය 74.42කි.

එහෙත් ඔබ නොදන්නා කාරණය නම්, පුජාරා මේ සියලු හරඹ පාන්නේ හදවත තුළ මහා බරක් දරාගෙන බව ය. ඔහුගේ පියා අරවින්ද් පුජාරා සහ ජීවතුන් අතර නොසිටින මව රීනා පුජාරා එවන් ශක්තිමත් මනසක් සහිත පුත්‍රයෙකු මෙලොවට තනාදීම ගැන ලොවින් පැසසුම් ලබමින් සිටියි.

චේතෙෂ්වර් පුජාරා සිය පියා අරවින්ද් පුජාරා සමඟ @im.rediff.com

මම ඔහුට පුරුදු කළේ ඉදිරි පාදයේ ක්‍රීඩා කරන්නේ කොහොමද, පසු පාදයේ ක්‍රීඩා කරන්නේ කොහොමද වගේ තාක්ෂණික කාරණා ටිකක් පමණයි. නමුත් මානසික ඒකාග්‍රතාවය, සමබර සිතක් පවත්වා ගැනීම, සංයමය පවත්වා ගැනීම කියන වැදගත් දේවල් හැමදෙයක්ම ඔහු ඉගෙන ගත්තේ ඔහුගේ මවගෙන්. මම ඔහුට ඉගැන්නුවේ ක්‍රිකට් පමණයි.” අරවින්ද් පුජාරා rediff වෙත සිය අදහස් පළකොට තිබිණි.

2018/19 ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ම ලකුණු 123ක් වාර්තා කළ පුජාරා දෙවැනි ඉනිමේ දී ලකුණු 71ක් වාර්තා කළේය. එතැන් සිට ඔහු ඉනිමවල දී ලකුණු ලබා ගත්තේ 24, 04, 106, 0, 193ක් වශයෙනි. මින් ඔහු අවසන් ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ලකුණු 193 පසුපස ඇති කතාව අප්‍රකට ය.

චේතෙෂ්වර් පුජාරාගේ එකම සමීප ක්‍රිකට් පුහුණුකරුවා වන ඔහුගේ පියාණන්ට, පුජාරා පිතිකරණයේ යෙදෙනු නැරඹීමට නොහැකි වූ එකම ඉනිම එයයි.

පස්සේ මම විශේෂ අවස්ථා බැලුවා. ඒත් සජීව විකාශය නරඹනවාට වඩා ඒක සම්පූර්ණයෙන්ම වෙනස්.” පුජාරාගේ පියා කියයි.

අරවින්ද් පුජාරා ඒ වන විට සිටියේ හදවත් සැත්කමක් මධ්‍යයේයි. 68 හැවිරිදි ඔහු තම පුත්‍රයාගේ මානසික ශක්තිය ගැන සතුටු වන්නේ එබැවිනි. ඒ ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබියදීත් චේතෙෂ්වර් පුජාරා තම බිරිඳ පූජා සහ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් පියාගේ දුක සැප විමසමින් සිට ඇත. එහෙත් ඔහු සිඩ්නි ක්‍රීඩාංගණයේ දී පිතිකරණයේ යෙදෙන විට කිසිවෙකුට මේ ගැන සුවඳක් හෝ දැනුණේ නැත. ඒ පුජාරාගේ මානසික ඒකාග්‍රතාවයේ මහිමයයි.  

ඒ හා සම්බන්ධ තවත් කතාවක් අරවින්ද් මහතාගේ මතකයේ ඇත.

එයාගේ අම්මා නැතිවුණු බව එයා දැනගත්තේ මැච් එකකට පස්සේ ගෙදර එද්දීයි. මම පොඩි ළමයෙක් වගේ අඬද්දී එයා නාඩා හිටියා. ඒකෙන් කියවුණේ ඔහුට හැඟීම් නැති බව නෙමෙයි, ඒ ඛේදවාචකය ජයගන්න තරම් ඔහුගේ හිත ශක්තිමත් නිසයි.”

පුජාරාගේ මානසික ශක්තිය ටෙස්ට් ක්‍රිකට් පිටිය මැද හොඳින්ම ප්‍රදර්ශනය වෙමින් තිබේ. විරාත් කෝලි, ස්ටීවන් ස්මිත්, හෂීම් අම්ලා වැනි නමගිය ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ලකුණු රැස්කළ ද ඒ පුජාරාට වඩා මඳක් ඉක්මන්ව ය. නමුත් පුජාරා පිතිකරණයේ යෙදෙන විට ඔහු ප්‍රතිවාදීන්ව මරාදමන්නේ සෙමිනි. ක්‍රිකට් පිටියේ දී ක්ෂණික මරණයට වඩා ඒ මරණය භයානක ය. උදාහරණයක් කිවහොත්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි දක්ෂ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතර තිලාන් සමරවීරගේ විශේෂත්වය කුමක්දැයි විමසුවහොත් දිය හැකි පිළිතුර නම් “පුජාරාගේ විශේෂත්වය ද එය බව”ය. එසේත් නැත්නම්, සචින් ටෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලි, විරේන්දර් ෂෙවාග් මැද රාහුල් ද්‍රාවිඩ් විශේෂ වන හේතුව ද එයයි.

ටෙස්ට් කණ්ඩායමකට එවැන්නෙකු දෙදෙනකු අත්‍යාවශ්‍ය ය. ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එරෙහිව ඉක්මන් ලකුණු 50ක් ලබාගෙන දැවී යන්නන්ට වඩා පන්දු 100කින් ලකුණු 50ක් ලබා ගන්නන්ගේ විශේෂත්වයක් ඇත. ටෙස්ට් ක්‍රිකට් නම් දින 5ක අභියෝගයේ දී ඔබ කාල කළමනාකරණය නොකරන්නේ නම් ඔබ අසාර්ථක ය. වර්තමාන ටෙස්ට් තරග රාශියක් දින තුනෙන් හතරෙන් නිමාවන හේතුව ඒ අසාර්ථක කාල කළමනාකරණයයි. ඉක්මන් ලකුණු අවශ්‍ය වන අවස්ථා ද ඇතැම් ටෙස්ට් තරගවල දී උදාවේ. ඒවාට ප්‍රතිචාර දැක්වීම යනු වෙනත්ම මාතෘකාවකි.

වර්තමානය වන විට ශක්තිමත් අංක 3 පිතිකරුවෙකු වන පුජාරා 19න් පහළ අවධියේ දී සිදු වූ සිය මවගේ අභාවය ගැන හැඬුම් දෙඩුම් නොකළත්, එය ඔහුගේ සිත තවමින් තිබුණි.

මිනිස්සු ගොඩක් අපිව හමුවෙන්න අපේ ගෙදරට ආව නිසා පැවතුණු මළගෙදර පරිසරය වෙනස් වුනේ නෑ. ඒත් පස්වැනි දවසේ දී අපි ඔහුට තේරුම් කරලා දුන්නා අම්මා ජීවත්ව හිටිය නම් ඇය අනිවාර්යෙන්ම ඔහු ක්‍රීඩා කරනවා දකින්න කැමති වෙයි නේද කියලා.” ඔහුගේ පියා සහ පවුලේ සෙසු වැඩිහිටියන් නැවතත් පුජාරාව ක්‍රීඩාව වෙත යොමු කිරීම සඳහා කටයුතු කොට ඇත්තේ එසේයි.

“ඇය ගොඩාක් ආධ්‍යාත්මිකයි” – පුජාරා සිය මව සමඟින් @www.extracrunch.com

ඔහු මවට හරිම සමීපයි. චේතෙෂ්වර්ට වඩා ඇය ගොඩාක් ආධ්‍යාත්මිකයි. අපට ඒක අවබෝධ වෙලා තිබුණේ නෑ. ඇය හරිම ශක්තිමත්. චේතෙෂ්වර් පුංචි කාලේ දී අපට දවසේ වියදමටවත් සල්ලි තිබුණේ නැතිවුනහම ඇය අපට ජීවත් වෙන්න කියලා දුන්නා.” 68 හැවිරිදි අරවින්ද්ගෙන් සිය අභාවප්‍රාප්ත බිරිඳ ගැන එසේ කියවිය. පවුලක කටයුතු බෙදාගන්නට නොහැකිව සැමියන්, බිරියන් අඩදබර කරගන්නා යුගයක ඒවා හරි හැටිම බෙදාගත් යුවලකින් බිහිවන දරුවෙකුගේ සාර්ථකත්වය චේතෙෂ්වර් පුජාරා විසින් ලොවට කියාපායි.

මිනිසුන් අවස්ථාවලට ප්‍රතිචාර දක්වනවා, අවධානය නැති කරගන්නවා. නමුත් ඔහු (පුජාරා) එහෙම නෑ. මොකද හිතේ ගැඹුරින්ම ඔහු තමන්ගේ ඉලක්ක ගැන අවධානයෙන් ඉන්නවා වගේම සංයමයකින් ඉන්නවා. ඒ ඔහුගේ ආධ්‍යාත්මික පැත්තයි.” තම පුත්‍රයාට මවගෙන් ලැබුණු දායාද ලෙස අරවින්ද් සිහිකරන්නේ ඒ ලක්ෂණ යි.

අරවින්ද් තවදුරටත් පවසන පරිදි, අවට ලෝකයේ කුමක් සිදුවුවත් පුජාරාට තරහවක් නම් ඇති නොවන තරම් ය.

අපේ ජීවිතවල කාරණා දෙකක් තියෙනවා. ආදරය සහ වෛරය. මේ දෙකම ඕනවට වඩා තිබුණොත් කෙනෙකු විනාශ වෙන්න පුළුවන්. එහි සමබරතාවයක් තිබිය යුතුයි. ඔහුට කිසිම කෙනෙකු ගැන තරහවක් නැති එක නිසා තමයි ඔහුට මේ මානසික සංයමය ලැබිලා තියෙන්නේ.”

“කණ්ඩායමට නොතේරීමේදී වගේ සමහර විට ඔහුට තරහ යනවා වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ඔහු හිතනවා ඇත්තේ ‘මම ඊළඟ තරගයේ දී 100ක් ගහලා ඔවුන් විසින් මාව තෝරාගන්න තැනට ගේනවා.’ කියලයි.” ඇනුම් පද, චන්ඩිකම් හෝ වැළපීම් වලින් කිසිවෙකුටත් වැඩක් නැත. අවට සියලු දෙනාම වැරදිකරුවන් වුවත් තමන් හරි දේ කරමින් තම රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බව මින් කියා දෙන පණිවුඩයයි.

“ඔහු දැවී යන විට නම් ඔහුට තරහ යනවා. ඔහුත් මනුස්සයෙක්. දෙවියෙක් නෙමෙයිනේ.” තමන්ගේ දුර්වල තැන් දෙසම බලා තරහ ගැනීම එක් අතකින් නරකත් නැත.

සෙමෙන්, ස්ථාවරව ලකුණු රැස්කරන පිතිකරුවෙකු වන පුජාරා ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය තුළ දී තම පිතිකරණයේ රැඳී සිටි මිනිත්තු ගණන 1,867කි. එය පැය වලින් 31ක් පමණ වේ. ඔහු ලබාගත් ලකුණු 521ට ඔහු පන්දු 1,258ක් වැය කළේය. ඉන්දියානුවන් පළමු ටෙස්ට් තරගය සහ තෙවැනි ටෙස්ට් තරගය ජය ගනිමින් 2-1ක් ලෙස තරගාවලිය ජයගත්තේය. ඒ ඉන්දියාව වසර 71කට පසුව ඕස්ට්‍රේලියාවේ දී ජය ගත් පළමු ටෙස්ට් තරගාවලියයි.

පුජාරා පන්දුවට පහර දෙමින්, ටිම් පේන් පසුපසින් සිටියි @cdn.dnaindia.com

විනෝදාත්මක සමාජ ජාලා පෝස්ටුවකින් කියවුණේ ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක සහ නායක ටිම් පේන්, අදාළ දින කිහිපයේ දී තම බිරිඳගේ මුවට වඩා පුජාරාගේ පශ්චාත් භාගය දෙස බලා සිටි බවයි. චේතෙෂ්වර් පුජාරා යනු එතරම් විශිෂ්ට මානසික ඒකාග්‍රතාවයක් ඇත්තෙකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<