ක්‍රීඩාවේ විශිෂ්ටයින්ට මෙවරත් ජනාධිපති සම්මාන

307
President's awards 2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව පසුගිය වසරේ ආරම්භ කළ “ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල” දෙවැනි වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

2016 වර්ෂයට අදාළව ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලුම අංශ නියෝජනය වන පරිදි ප්‍රවීනයන් හා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජනාධිපති ක්‍රීඩා සම්මාන පිරිනැමීම සිදුවන අතර උත්සවය එළඹෙන මැයි මස 19 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විය.

දමයන්ති දර්ශාට තවත් ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මඟින් පවත්වන ලද, “ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදනම් සමුළුවේ, මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහතික පත් පාඨමාලා පළමු අදියර” පසුගිය 6 වන දා සිට 18 වන දා දක්වා…

දෙවන වරටත් සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වනු ලබන මෙම ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් ගරු ක්‍රීඩා අමාත්‍යතුමන් පවසා සිටියේ මින් පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු දිනක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය සම්මාන උළෙලක් පවත්වා නොතිබූ බවයි.

“මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලක් තිබුණේ නැහැ. නමුත් එය පළමුවතාවට ගිය අවුරුද්දේ අපි පටන් ගත්තා. ඒ ‍වගේම අවුරුදු 16න් පහළ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා නවතම අංගයක් එකතු කරලා තිබෙනවා. එයට හේතුව මේ රටේ තරුණ තරුණියන්ට ඉදිරියට යන්න ලැබෙන ශක්තියත්, ධෛර්යත් එක්ක තමයි ඔවුන්ගේ අනාගතේ තීරණය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ රටේ පරිණත හා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සම්මාන පිරිනමන අතරෙම, අලුතින් නැගී එන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහාත් වැඩපිළිවෙළක් සකස් කරල‍ා තියෙනවා.”

විශේෂයෙන්ම හොඳම තරුණ ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායම, හොඳම තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම, නැගී එන හොඳම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සහ ආබාධ තත්වයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ජනාධිපති ක්‍රීඩා සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම සම්මාන උළෙලේ දී ජ්‍යේෂ්ඨ, කනිෂ්ඨ, යොවුන් හා ආබාධ සහිත ලෙස අංශයන් 4ක දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ.

ඊට අමතරව ක්‍රීඩාභිමානී, ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා කීර්ති, ක්‍රීඩා ලංකා ප්‍රදීප, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා රත්න, ක්‍රීඩා ප්‍රභා යන ජනාධිපති සම්මාන සහ තවත් සම්මාන 53ක් විවිධ අංශ ඔස්සේ ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ජ්‍යේෂ්ඨ, කනිෂ්ඨ හා යොවුන් අංශයන් හි පුහුණුකරුවන් හට ද ප්‍රථම වරට සම්මාන ප්‍රදානය කිරීමට නියමිත අතර ක්‍රීඩා ප්‍රවර්ධකයින්, ජාතික ක්‍රීඩා සංගම් ද මෙවර ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත වේ.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යන දෙඅංශයේම ක්‍රීඩා මාධ්‍යවේදියා හා හොඳම ක්‍රීඩා ඡායාරූප ශිල්පියාට ද මෙවර ජනාධිපති සම්මාන වෙන් කර තිබේ.

පහත දැක්වෙන අංශ යටතේ මෙම සම්මාන බෙදී යයි.

  • වසරේ වඩ‍ාත් කැපී පෙනෙන ක්‍රීඩාවේ විශිෂ්ටයා සඳහා වු ජනාධිපති සම්මානය
  • විශේෂිත ක්‍රීඩා ක්ෂේත්‍ර සඳහ‍ා සම්මාන
  • ක්‍රීඩා ප්‍රකාශණ සහ ජනමාධ්‍ය සඳහා ජනාධිපති සම්මාන
  • ජාතික ක්‍රීඩා සංගම් ඇගයීම
  • ජනාධිපති ක්‍රීඩා වර්ණ
  • ජනප්‍රියතා සම්මාන

මේ සඳහා නාම යෝජනා භාර ගැනීම අප්‍රේල් මස 28 වැනිදා සවස 4ට අවසන් වේ.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට