ක්‍රිකට් ක්‍රීඩාවේ පෙම් ස්වරය – ප්‍රේමසර ඈපාසිංහ

1298
Premasara Epasinghe

ශ්‍රී ලාංකේය ක්‍රිකට්ලෝලීන්ට ගුවන් විදුලිය හරහා ක්‍රිකට් මවා දුන් ජීවී කට හඬක උරුමකරුවා ප්‍රේමසර ඈපාසිංහ මෙරට ක්‍රිකට් ක්‍රීඩා වංශකතාව තුළ අමරණීය චරිතයකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිපාලන නිලධාරියෙකු වූ දොන් රනෝලිස් ඈපාසිංහ සහ පොඩි නෝනා පීරිස් යන දෙපලගේ ආදරණීය පුතණුවන් ලෙස ප්‍රේමසර උපත ලැබුවේ 1937 ඔක්තෝබර් මස 5 වැනිදා ය. පොඩි නෝනා පිරීස් නම් වූ ඔහුගේ මව වෘත්තියෙන්  විදුහල්පතිනියක් විය.

ඔහුගේ පියා විශ්ව විද්‍යාලය තුළ සේවය කරන සමයේ දී ඇසුරු කළ මහාචාර්ය ගුණපාල මලලසේකර ශූරීන්ගේ සහයෝගයෙන් ඔහුව කොළඹ නාලන්ද විදුහලට ඇතුළත් කර ගැනීමට හැකි විය.

තම ප්‍රථම ක්‍රිකට් තරගය ලෙස ඈපාසිංහ පිටියට පිවිසියේ පාසල් නිවාසාන්තර ක්‍රිකට් තරගයේ දී ය. ඔහු එවකට එම පාසලේ චන්ද්‍රා නිවාසයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර කිසිදු පැකිළීමකින් තොරව ක්‍රිකට් කණ්ඩායමේ තිබූ හිඩැස පිරවීමට මොහු මැදිහත් විය.

එම නිවාසයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ නාලන්දා විද්‍යාල කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරුවෙකු වූ යසපාල දිසානායකයි. ඔහු සමඟ එදින තරගයේ ආරම්භක පිතිකරු වූ ඈපාසිංහ පළමු තරගයේ දී ම නොදැවී ලකුණු 89ක් ලබා ගැනීමට සමත් විය.

මෙම දක්ෂතාවය දුටු නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩා පරිපාලකයෙකු මෙන්ම ක්‍රිකට් භාරව කටයුතු කළ ආචාර්යවරයෙකු වූ කන්දස්වාමී මහතා, ඈපාසිංහට පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අවස්ථාව උදා කර දුන්නේය.

එතැන් පටන් නාලන්ද ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ කඩුලු රකින්නෙකු හා ප්‍රබල පිතිකරුවෙකු ලෙස ඈපාසිංහ කටයුතු කරන්නට විය.

ඈපාසිංහ 28 වන ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, මිත්‍ර සිරිවර්ධන ඔහුගේ නාලන්ද ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.

නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු ඈපාසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එහි දී ඔහු සිංහල, ඉංග්‍රීසි, ඉතිහාසය හා අධ්‍යාපන විද්‍යාව යන විෂයන් හැදෑරුවේය. පාසලෙන් සමුගත් පසුත් ක්‍රිකට් ක්‍රීඩාව අමතක නොකළ ඔහු, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ද විය.

විශ්ව විද්‍යාලය තුළ දී ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවී මේසපන්දු ක්‍රීඩාවෙන් ද දක්ෂතා පෙන්වමින් විශ්ව විද්‍යාලයේ මේසපන්දු ශූරයා බවට පත් වීමට තරම් ප්‍රේමසර ඈපාසිංහයන් ද‍‍ක්ෂ විය.

සැරසන්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක  ජෙරී ගුණරත්න මහතා, ප්‍රේමසර ඈපාසිංහ නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. සැරසන්ස් කණ්ඩායම, බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට ඈපාසිංහ හට ඉන් අවස්ථාව උදා විය. නාලන්ද විද්‍යාලයේ බොහෝ ක්‍රීඩකයින් සැරසන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් සමාජ ක්‍රිකට් පිටියට අවතීර්ණ විය.

එවක සිටි ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ටැමිල් යූනියන් කණ්ඩායමේ ක්‍රීඩක එන්. සතාසිවම් වැනි ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ප්‍රේමසර ඈපාසිංහයන්ට අවස්ථාව උදා වූ අතර සැරසන්ස් කණ්ඩායම හා ටැමිල් යූනියන් කණ්ඩායම අතර තරගයේ ආරම්භක පිතිකරුවා‍ ලෙසත් කඩුලු රකින්නා ලෙසත් තම වගකීම ඉටු කරන්නට ඔහුට හැකි විය.

ඉගෙනීමට තිබූ කැමැත්ත හා උනන්දුව නිසාම ඉන්පසු ක්‍රිකට් ක්‍රීඩාව පසෙක තබා අලෙවිකරණය හා මහජන සම්බන්ධතා වැනි විෂයන් හැදෑරීමට ප්‍රේමසර ඈපාසිංහ පෙළඹුණි.  

කෙසේ නමුත් ප්‍රේමසර ඈපාසිංහ 1958 දී ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස කටයුතු කළේ කොළඹ මහානාම විද්‍යාලයේ ය. එවකට එම විද්‍යාලයේ සිටි මුල්ම ඉංග්‍රීසි ගුරුවරයා වන්නේ ද මොහුයි. 1970 දී බැංකු කේෂ්ත්‍රය හා සම්බන්ධ වන ඈපාසිංහ එහි දී මහජන සම්බන්ධතා හා අලෙවි කළමනාකරණ අංශයේ කළමනාකරු ලෙස රාජකාරි කරන ලදි.

ඉන්පසුව ඔහු නැවතත් ක්‍රීඩාවට සම්බන්ධ වන්නේ ක්‍රීඩකයෙකු ලෙස නොව දක්ෂ විස්තර විචාරකයෙකු ලෙසයි. ගුණරත්න අබේසේකර මහතා හරහා ගුවන් විදුලියේ නන්දා ජයමාන්න මහත්මිය හඳුනා ගන්නා ඈපාසිංහ පසුව එතුමිය විසින් ලිවී විජේමාන්ත මහතා වෙත යොමු කෙරේ. එහි දී ඔහුට එවකට ගුවන් විදුලියේ සිටි එච්. එම්. ගුණසේකර, කරුණාරත්න අබේසේකරයන් වැනි අති දක්ෂයින්ගෙන් ගුරුහරුකම් ලබා ගැනීමට අවස්ථාව උදා විය.

එහි දී ලිවී ජයමාන්න මහතාගේ ආරාධනයකට අනුව 1971 රාජකීය – සාන්ත තෝමස් ක්‍රිකට් තරගයේ විස්තර විචාරය කිරීමට මොහුට ආරාධනා ලැබීය. එතැනින් නොනැවතුනු ඈපාසිංහ ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස 1985 දී පාකිස්ථානය බලා පිටත්‍ ගියේය.  එය ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ විදේශයේ සිට සජීවී විස්තර විචාරය ගෙන ආ ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා වේ.

1982 දී පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ විස්තර විචාරය සිදු කිරීමේ අභිමානය ද ඔහු සතුවේ. ප්‍රේමසර ඈපාසිංහ නම් සොඳුරු විස්තර විචාරකයා ශ්‍රී ලංකාවේ සියවන සහ එකසිය පනස් වන ටෙස්ට් ක්‍රිකට් තරගවල දී ද විස්තර විචාරය කර තිබීම සුවිශේෂී වේ.

එදා සිට මේ දක්වා මොහු බටහිර ඉන්දීය කොදෙව් හැර අනෙක් සියලුම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වෙත ගොස් ට්‍රේවර් බේලි, පීටර් බැස්ටර්, බ්‍රයන් ජොන්සන්, රිචී බෙනොඩ්, ටෝනි ග්‍රේග් වැනි විචාරකයින් සමඟ විචාරක මැදිරියේ පෙනී සිට එම තරගයන් හි උද්වේගය, තරගකාරිත්ව හා රසමුසු තැන් අසන්නන් හා ප්‍රේක්ෂකයින් වෙත සමීප කර තිබේ.

එපමණක් නොව නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩා‍යමේ පුහුණුකරු ලෙස කලක් කටයුතු කළ මොහු, ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කර තිබේ.

1995 වසරේ දී ඉන්දියාවේ විස්තර විචාරක කටයුතු කරන අතරතුර සුනිල් ගවස්කාර් විසින් ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබීමට සුදුසුකම් ඇති තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉල්ලා සිටි මොහොතේ මොහු විසින් මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර යන ක්‍රීඩකයින් දෙදෙනා නම් කර තිබේ. අද වන විට එම ක්‍රීඩකයින් දෙදෙනාම ජාත්‍යන්තර වශයෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් වේ.

1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මොහුගේ විස්තර විචාරයෙන් වර්ණවත් වූ අතර ගුවන් විදුලියට සවන් දුන් ජනතාව හට එම විජයග්‍රාහී අවස්ථාව දැන ගැනීමට හැකි වූයේ ප්‍රේමසර ඈපාසිංහයන්ගේ ප්‍රේම ස්වරය තුළිනි.

මීට අමතරව ජයන්ත ධර්මදාස හා අර්ජුන රණතුංග යුගයේ දී ඔහුගේ සේවය ලබා ගැනීම සඳහා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට ද ඔහු තේරී පත්විය.

ක්‍රිකට් පිළිබඳ මනා දැනුමකින් හෙබි ප්‍රේමසර ඈපාසිංහ ලෝකයේ කුමන රටක කුමන ක්‍රීඩා පිටියක වුවද පැවැත්වෙන ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක උණුසුම, උද්වේගය, තරගකාරීත්වය සේම රසමුසු තැන් මනා ලෙස ගුවන් විදුලිය හෝ රූපවාහිනිය තුළින් ප්‍රේක්ෂක මනසේ සිත්තම් කිරීමට තරම් දක්ෂ වූ ක්‍රිකට් විස්තර විචාරකයෙකි.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න