ප්‍රමුදිතගේ ප්‍රහාරයෙන් මැසනොද් කණ්ඩායමට ජය

229
Pramuditha powers Mazenodians

ප්‍රමුදිත ගුණසේකරගේ සුපිරි ක්‍රීඩා විලාසයෙන් කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කර නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලානය දිනා ගැනීමට කඳාන ද මැසනොද් විද්‍යාලය සමත් විය. තරගය කඳාන ද මැසනොද් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

දෙවන අර්ධයේ මුල් භාගයේ දී ගෝල 1-3ක් ලෙස මැසනොද් ක්‍රීඩකයින් පසුපසින් සිටි නමුත් අවසන් මිනිත්තුව තෙක් තරගය අත් නොහල ඔවුන් තරගයේ ගෝල සමකර දඬුවම් පහර 3-4ක් ලෙස තරගය ජය ගත්තේ කිසිවෙකුත් නොසිතූ ලෙසයි.   

මරදාන සහිරා ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරති

පළමු වරට සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ ඊයේ (19) පැවති තරගයකින්…

තරගයේ එක් අර්ධයක් මිනිත්තු තිහකට සීමා වූ අතර ආරම්භයේම වේගවත් ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ මැසනොද් ක්‍රීඩකයෝ දෙවන මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගෙන තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. ගෝල චතුරශ්‍රයට ආසන්නයේ සත්කාරක මැසනොද් ක්‍රීඩකයින්ට නිදහස් පහරක් හිමි වූ අතර දක්ෂ ලෙස එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් නායක ගුණසේකර එල්ල කළ ප්‍රහාරය නතර වූයේ දැල තුලය.

කෙසේ වෙතත් බෙනඩික්ට් ක්‍රීඩකයෝ මැසනොද් ක්‍රීඩකයින්ට වැඩි වේලාවක් පෙරමුණේ රැඳෙන්නට ඉඩ ලබා දුන්නේ නැත. ෂෙනාල් කාවින්ද පස්වැනි මිනිත්තුවේ දී බෙනඩික්ට් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ තරගයේ ගෝල සම කරමිනි.

17 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ බෙනඩික්ට් ක්‍රීඩකයින් මැසනොද් ක්‍රීඩකයින්ගෙන් තවත් ගෝලයක් උදුරා ගැනීමට සමත් විය. චතුරශ්‍රය පිටත සිට එල්ල කළ අලංකාර ප්‍රහාරයකින් මොහොමඩ් කුර්ශිත් එම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සත්කාරක කණ්ඩායමේ බලාපොරොත්තු මොහොතකට දල්වමින් අවිශ්ක දේශාන්ගේ දක්ෂ පන්දු යොමු කිරීමක් උපයෝගී කරගෙන ඔෂාන් මදුශංක ගෝලයක් වාර්තා කළ නමුත් විනිසුරු එම අවස්ථාව ‘OFFSIDE’ අවස්ථාවක් බව තීරණය කළේය.

පළමු අර්ධය: ද මැසනොද් විද්‍යාලය 01 – 02 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

දෙවන අර්ධයේ දී තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරුණු අතර 32 වන මිනිත්තුවේ දී මැසනොද් විද්‍යාලයේ අවිශ්ක සිය දෙවන කහ කාඩ් පතත් ලබා පිටියෙන් ඉවත් විය.

එක් ක්‍රීඩකයෙක් අහිමි වුන ද මැසනොද් ක්‍රීඩකයින් නැවත වතාවක් අමාරුවේ දමමින් ගෝල රකින්නාට ඉහළින් පන්දුව පා කර හැරි කාවින්ද බෙනඩික්ට් කණ්ඩායමේ තෙවන ගෝලයත් වාර්තා කළේ ලකුණු තත්වය ගෝල 1-3 ක් බවට පත් කරමිනි.

බලාපොරොත්තු අත් නොහළ ද මැසනොද් ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණයේ නිරත වූ අතර රන්ජන් ශෝදර්ශන් විසින් ගුණසේකර හට අනවශ්‍ය බාධා කිරීමක් නිසා ද මැසනොද් විද්‍යාලයට හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ගුණසේකරම සමත් වූයේ ගෝල පරතරය එක් ගෝලයක් දක්වා පහළට ගෙන එමිනි.

තරගය අවසන් වීමට මිනිත්තු තුනක් තිබිය දී නිම්ශාන් සොයිසා දක්ෂ ප්‍රහාරයකින් පන්දුව ගෝල රකින්නා පසුකර දැල තුලට යැව්වේ බෙනඩික්ට් බලාපොරොත්තු සුන් කරමින් තරගයේ ලකුණු සම කරමිනි.

නියමිත කාලය අවසානයේ: ද මැසනොද් විද්‍යාලය 03 – 03 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

තරගයේ තීරණය දඬුවම් පහර කරා ඇදී ගිය අතර කණ්ඩායම් දෙකම සිය පළමු දඬුවම් පහර දෙක අපහසුවකින් තොරව සාර්ථක කර ගන්නා ලදි. බෙනඩික්ට් විද්‍යාලයේ හරේන් ප්‍රනාන්දු තෙවන දඬුවම් පහරත් බ්‍රයන් අභිෂේක් කණ්ඩායමේ සිව්වැනි දඬුවම් පහරත් අසාර්ථක කර ගන්නා ලදි.

මැසනොද් විද්‍යාලය ගෝල 3-2ක් ලෙස පෙරමුණේ රැඳී සිටිද්දී ඉසුරු සිල්වා ද මැසනොද් සිව්වැනි දඬුවම් පහර අසාර්ථක කර ගත්තේ බෙනඩික්ට් බලාපොරොත්තු තව දුරටත් තරගයේ රඳවා තබා ගනිමිනි. කෙසේ වෙතත් දැල්වුණු බලාපොරොත්තු සැනෙකින් නිවා දමමින් ප්‍රමුදිත ගුණසේකර ද මැසනොද් කණ්ඩයම වෙනුවෙන් අවසන් දඬුවම් පහර සාර්ථක කරගත්තේ ThePapare.com තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින්.  

අවසන් ලකුණු තත්වය: ද මැසනොද් විද්‍යාලය 3 (4) -3 (3 ) සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • ද මැසනොද් විද්‍යාලය – ප්‍රමුදිත ගුණසේකර 2’, 40’, නිම්ශාන් සොයිසා 57’
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – ෂෙනාල් කාවින්ද 5’, 38’, මොහොමඩ් කුර්ශිත් 17’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<