අවසන් මොහොතේ දඬුවම් පහරෙන් පොලිස් බලාපොරොත්තු බිඳී යයි

662

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙමින් නාවික හමුදා කණ්ඩායම පෙරළිකාර පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 24-23ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගය ඊයේ (9) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

යුධ හමුදා බල බිඳිමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජය ගනී

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අද (9) ආරම්භ වූ අතර සිය පළමු තරගයේ දී ම යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 23-12ක විශිෂ්ට ජයක්…

නාවික හමුදා කණ්ඩායමට නොසිතූ අභියෝගයක් එල්ල කරන්නට පෙරළිකාර පොලිස් කණ්ඩායම සමත් වූ අතර තරගයේ වැඩි කාලයක් ඉදිරියෙන් සිටි ඔවුන්ට තරගයේ ජයග්‍රහණය ගිලිහුණේ අවසන් මොහොතේ දීයි. පොලිස් කණ්ඩායමට ප්‍රවර්තන දෙකක් මගහැරුණු අතර එය ඔවුන්ට වූ ප්‍රධානතම අවාසියක් විය.

පළමු මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම ප්‍රබල සටනක නිරත වූ අතර පොලිස් ඉදිරිපෙළ ක්‍රීඩකයින් විශිෂ්ට ලෙස ‘Scrum’ අවස්ථා සම්පූර්ණයෙන්ම සියල්ල සිය ආධිපත්‍යට නතු කර ගැනීම විශේෂත්වයක් විය. කෙසේ වෙතත් පළමුවෙන් ලකුණු රැස් කරන්නට සමත් වූයේ නාවික හමුදා කණ්ඩායමයි. සිය උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේම හිමි වූ ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් නාවිකයෝ පන්දුව අදිශ වීරතුංග වෙත ලබා දුන් අතර අදිශ පහසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගැනීමට සමත් විය. 23 වන මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුම සාර්ථක ලෙස ප්‍රවර්තනය කරන්නට නාවික හමුදාවේ නායක තිළිණ වීරසිංහ සමත් විය. (නාවික 07-00 පොලිස්)

පොලිස් ක්‍රීඩා සමාජය නාවික හමුදා කණ්ඩායමට ප්‍රබල සටනක් ලබා දුන් අතර පොලිස් කණ්ඩායම නියෝජනය කරන ෆීජී ක්‍රීඩක Emosi Vunivosa සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූයේ පොලිස් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමිනි.

’Scrum’ අවස්ථාවකින් Emosi Vunivosa ලබා ගත් පන්දුව උත්පල එදිරිසිංහ වෙත ලබා දුන් අතර ඔහු දක්ෂ ලෙස උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ පොලිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. සචිත් සිල්වාගේ ප්‍රවර්තනය ගෝල කණුවලින් ඉවතට ඇදී ගිය නමුත් ලකුණු පරතරය අඩු කර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. තරගයේ එකම විදෙස් ක්‍රීඩකයා වූ Emosi Vunivosa පොලිස් කණ්ඩායමේ පැහැදිලි වෙනසකට මග පෑදූ අතර නිදහසේ ක්‍රීඩා කළ ඔහු නාවික හමුදා ක්‍රීඩා සමාජයට ප්‍රබල සටනක් ලබා දෙන්නට සමත් විය. (නාවික 07-05 පොලිස්)    

අනතුරුව දිගින් දිගටම පන්දුව තමන් සතුවම තබා ගෙන ක්‍රීඩා කළ පොලිස් ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ වගීෂ වීරසිංහ ගේ සුරතිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. (නාවික 07-10 පොලිස්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නාවික හමුදා කණ්ඩායම ද ඉතා ඉක්මනින් නිහඬ බව බිඳ දැමූ අතර තිළිණ වීරසිංහගේ දක්ෂ තනි අත්පන්දු යොමු කිරීමක් ග්‍රහණය කර ගත් බුද්ධිම පියරත්න මීටර 60ක පමණ අලංකාර ධාවනයක නිරත වූ අතර ගෝල කණු අතරින් ඔහු උත්සාහක දිනුම සටහන් කළේ සිය නායකයාට ප්‍රවර්තනය ද පහසු කරමිනි. (නාවික 14-10 පොලිස්)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 14 (2T, 2C) – 10 (2T) පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය සාර්ථකව ආරම්භ කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූ අතර ෆීජි සෙන්ටර් ක්‍රීඩකයා නාවික ආරක්ෂක වළලු බිඳ හෙළමින් ධාවනයක නිරත වී පන්දුව වගීෂ වෙත ලබා දුන් අතර ඔහු තෙවන පොලිස් උත්සාහක දිනුම කරා පන්දුව රැගෙන යාමට සමත් විය. අමිත ප්‍රභාත් අමතර ලකුණු එකතු කරමින් පොලිස් ක්‍රීඩා සමාජය පෙරමුණට රැගෙන එන්නට සමත් විය. (නාවික 14-17 පොලිස්)

50 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයට දරුණු ගැටලුවක් ඇති වූයේ ඔවුන්ගේ නොම්මර 8 ක්‍රීඩක රදීෂ සෙනෙවිරත්න කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීම නිසයි.

ගැවින් පැට්‍රික්ගේ අතපසු වීමකින් ලැබුණු දඬුවම් පහරකින් පොලිස් කණ්ඩායමට තවත් ලකුණු ත්‍රිත්වයක් රැස් කර දීමට අමිත ප්‍රභාත් සමත් විය. (නාවික 14-20 පොලිස්)

අවසන් මිනිත්තු කිහිපයේ දී නාවික හමුදා කණ්ඩායම තමන්ගෙන් ගිලිහී යන තරගය තමන් සතු කර ගැනීමට ප්‍රබල සටනක් ලබා දුන් අතර 60 වන මිනිත්තුවේ දී රිචී ධර්මපාල උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ අදිශ වීරතුංගගේ ධාවනයක් සාර්ථකව අවසන් කරමිනි. තිළිණ අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (නාවික 21-20 පොලිස්)

තරගය දෙපසටම විවර කරමින් පොලිස් කණ්ඩායමට හිමි වූ තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ප්‍රභාත් සමත් විය. (නාවික 21-23 පොලිස්)

අවසන් මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩකයින් ප්‍රබල සටනකට අවතීර්ණ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට 80 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි විය. තීරණාත්මක දඬුවම් පහර විශ්වාසවන්ත නාවික හමුදාවේ නායක තිළිණ විරසිංහ භාර ගත් අතර මීටර් 35ක් නුදුරේ හිමි වූ දඬුවම් පහර අලංකාර ලෙස තිළිණ ගෝල කණු අතරින් පා කර හැරියේ පොලිස් බලාපොරොත්තු වතුරේ යවමිනි. (නාවික 24-23 පොලිස්)

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 24 (3T, 3C, 1P) – 23 (3T, 1C, 2P)

ThePapare.com තරගයේ වීරයා: Emosi Vunivosa

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – රිචී ධර්මපාල (1T), බුද්ධිම පියරත්න (1T), චරිත සිල්වා (1T), තිළිණ වීරසිංහ (3C, 1P)
  • පොලිස් ක්‍රීඩා සමාජය – වගීශ වීරසිංහ (2T), උත්පල එදිරිසිංහ (1T), අමිත ප්‍රභාත් (1C, 2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<