උගන්ඩාව කුළුදුල් ලෝක කුසලාන ජයග්‍රහණය ලබයි

ICC T20 World Cup 2024

101
PNG vs UGN

පැපුවා නිව් ගිනියාව සමඟ පැවති මූලික වටයේ තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ සිය කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට පෙරළිකාරී උගන්ඩා කණ්ඩායම අද (06) සමත් වුනා. 

ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) උදෑසන පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් උගන්ඩා නායක Brian Masabaගේ ආරාධනාවෙන් පිටියට පිවිසි පැපුවා නිව් ගිනියා ක්‍රීඩකයින්ට පන්දුවාර 19.1ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 77ක් පමණයි.  

කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Hiri Hiri ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුට අමතරව Lega Siaka සහ Kiplin Doriga ලකුණු 12ක් බැගින් රැස් කිරීමට සමත් වුනා.  

පන්දු යැවීමේ දී සෑම උගන්ඩා පන්දු යවන්නෙකුම කඩුලු දවා ගැනීමට සමත් වීම කැපී පෙනුන අතර Alpesh Ramjani, Cosmas Kyewuta, Juma Miyagi සහ Frank Nsubuga අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.  

ලකුණු 78ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි උගන්ඩා ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට පැපුවා නිව් ගිනියා ක්‍රීඩකයින් සමත් වූවත් Riazat Ali Shahගේ ඉවසිලිවන්ත ඉනිම (33) නිසා පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු හතක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට උගන්ඩා ක්‍රීඩකයින් සමත් වුනා.  

උගන්ඩා ඉනිමේ දෙවනුවට වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 13ක් ලබා ගැනීමට Juma Miyagi සමත් වූ අතර පන්දු යැවීමේ දී Alei Nao සහ Norman Vanua කඩුලු දෙක  බැගින් දවා ගත්තා.  

පිතිකරුවන්ට ඉතා අසීරු කඩුල්ලක කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ උගන්ඩා ක්‍රීඩක Riazat Ali Shah තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර මෙම ජයග්‍රහණය සමඟ සිය ලෝක කුසලාන ජයග්‍රහණ ලබා ගැනීම ආරම්භ කිරීමට උගන්ඩාවට හැකි වීම කැපී පෙනුනා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව, 

  • පැපුවා නිව් ගිනියාව – 77/10 (19.1): Hiri Hiri 15, Lega Siaka 12, Kiplin Doriga 12, Frank Nsubuga 2/4, Juma Miyagi 2/10. 
  • උගන්ඩාව – 78/7 (18.2): Riazat Ali Shah 33, Juma Miyagi 13, Alei Nao 2/16. 

උගන්ඩා ක්‍රීඩකයින්ට කඩුලු 3ක ජයක්.  

අද දිනයේ මෙම තරගයට අමතරව තවත් තරග දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරග ඇතුළු 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare  සමඟ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<