ඕෂද, කුසල් සහ චන්දිමාල්ගෙන් අර්ධ ශතක ඉනිම්

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

485

පාකිස්තාන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (18) නිමාවට පත් වුනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

අද (18) දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා ගනිමින් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 333ක් ඉදිරියෙන් සිටිනවා.

ඊයේ (17) දිනයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා ගනිමින් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 40ක් ඉදිරියෙන් සිටියා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිස තිබූ කසුන් රාජිත ලකුණු 7කට පිටියෙන් ඉවත් කිරීමට Mohammad Nawazට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 41ක් වන විටයි.

ඉන්පසුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ ඕෂද ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 91ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 64ක් ලබා ගෙන සිටි ඕෂද දැවී ගියේ Yasir Shahගේ පන්දුවක් හමුවේයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 164ක් වන විට ලකුණු 07ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් හට මෙම ඉනිමේ ද සාර්ථක වීමට ඉඩක් ලබා නොදුන් Mohammad Nawaz විසින් ඔහුව පිටියෙන් ඉවත් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිය ටෙස්ට් දිවියේ 15 වැනි අර්ධ ශතකය ලබා ගත් කුසල් මෙන්ඩිස් ලකුණු 76කට දැවී ගියේ Yasir Shah යොමු කළ විශිෂ්ට පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

ධනංජය ද සිල්වා ලකුණු 20කට සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 12කට පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන පන්දු යවන්නට හැකි වුනේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරමක පීඩනයක් ගෙන දෙමිනුයි.

දිනේෂ් චන්දිමාල් සමඟ එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට උත්සහ කළ රමේෂ් මෙන්ඩිස් ලකුණු 22කට දැවී ගියේ Mohammad Nawazගේ පස්වැනි කඩුල්ල ලෙසයි. ඒ සමඟ සිය මංගල ටෙස්ට් කඩුලු 5 සම්පූර්ණ කිරීමට Mohammad Nawazට හැකි වුනා.

පෙර ඉනිමේ මෙන්ම චන්දිමාල් සමඟ එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසුව මහීෂ් තීක්ෂණ ලකුණු 11කට පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකාව පාකිස්තානයට වඩා ලකුණු 308ක් ඉදිරියෙන් සිටියා.

මෙම ඉනිමේ ද සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් සිය 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් චන්දිමාල් අද (18) දිනය නිමා වන විට නොදැවී ලකුණු 86ක් ලබා සිටියා.

අයහපත් ආලෝක තත්වය නිසා දිනය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා සිටියේ පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 333ක් ඉදිරියෙන් සිටිමිනුයි.

තරගයේ සිව්වැනි දිනය හෙටයි (19). මෙම තරගයේ සහ තරගාවලියේ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<