84 වැනි සාන්තුවරයන්ගේ සටනට පිටිය සූදානම්

213

තියුණු සටනක පෙරනිමිති පෙන්නුම් කරන සාන්ත ජෝසප් විදුහල හා සාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන 84 වන සාන්තුවරයන්ගේ සටන එළඹෙන මාර්තු 2 සහ 3 යන දිනවල දී කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී උදෑසන 9.30 සිට පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ ප්‍රධානතම කතෝලික පාසල් දෙකක් වන සාන්ත ජෝසප් හා සාන්ත පීතර විදුහල කරට කර ගැටෙන 84 වන මහා ක්‍රිකට් තරඟය ඉතා තියුණු මෙන්ම ඉහළ තරගකාරිත්වයකින් යුතුව ප්‍රතිඵලයක් සමඟින් අවසන් වනු ඇතැයි ක්‍රීඩාලෝලී සියලු දෙනා අපේක්ෂා කරයි.

තර්ස්ටන්-ඉසිපතන සහෝදරයින්ගේ ගැටුමට සියල්ල සූදානමින්

මෙම වසරේ පාසල් මහා ක්‍රිකට් තරග සමය එළඹෙන 23 වන දින SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන කොළඹ …

ඉතිහාසයෙන් බිඳක්

ගරු මෞරීස් ලේ ගොක් පියතුමන්ගේ (Rev.Fr Maurice Le Goc) අනුස්මරණ කුසලානය සඳහා සටන් වදින සාන්ත ජෝසප් විදුහල හා සාන්ත පීතර විදුහල අතර මහා ක්‍රිකට් තරගය ආරම්භ වූයේ 1933 දී ය. පැවති මංගල තරගය ජය ගනිමින් කුසලානය සිය විදුහලට රැගෙන යාමට මරදාන සාන්ත ජෝසප් විදුහල සමත් විය. සාන්ත ජෝසප් විදුහලේ මෙන්ම පසුකලක දී සාන්ත පීතර විදුහලේ පළමු විදුහල්පති ලෙස කටයුතු කළ ගරු මෞරීස් ලේ ගොක් පියතුමා හට ගෞරවය පුද කිරීම සඳහා පාසල් දෙක අතර මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රාහී පාසලට ලබා දෙන කුසලානය එතුමාණන් නමින් නම් කරන ලදි.

රොබට් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ජයග්‍රාහී සාන්ත ජෝසප් විදුහල පළමු මහා ක්‍රිකට් තරගයට පිවිසුණු අතර ඔවුන්ට අභියෝගයක් වෙමින් ජෝර්ජ් ජයවීර සාන්ත පීතර විදුහල මෙහෙය වන ලදි. ක්‍රීඩා කළ තරග 83න් තරග 12ක් ජය ගනිමින් වැඩි ගෞරව දිනා සිටින්නේ සාන්ත ජෝසප් විදුහලයි. සාන්ත පීතර විදුහලට ද ඔවුන්ට දෙවෙනි නොවෙමින් තරග 10ක් ජය ගැනීමට සමත්ව තිබීම මහා තරගයේ උණුසුම තවත් වැඩි කිරීමට හේතුවක් වී තිබේ.

තරග 62ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් අවසන් වරට සාන්ත ජෝසප් විද්‍යාලය මහා ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කළේ 2008 වසරේ පැවති 74 වන මහා ක්‍රිකට් සංග්‍රාමය යි. සාන්ත පීතර විදුහල ආසන්නතම තරග ප්‍රතිඵලය වාර්තා කරමින් 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් අවසාන වරට තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ඉනිමක දී සිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස කෙන් සර්පැන්චි (Ken Serpanchy) ගේ නායකත්වයෙන් 1982 දී සාන්ත ජෝසප් විදුහල ලකුණු 382ක් වාර්තා කිරීමට සමත් වූ අතර 1938 දී පර්සි පෙරේරාගේ නායකත්වයෙන් ලකුණු 345ක් වාර්තා වීම සාන්ත පීතර ලකුණු පුවරුවේ සටහන් වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

1972 වසරේ දී නොසිතූ ලෙස සාන්ත පීතර විදුහල් කණ්ඩායම ලකුණු 36කට සියල්ලන්ම දැවී යාම තරග ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එකතු වූ අතර 1938 දී ලකුණු 56කට සියල්ලන්ම දැවී යාම සාන්ත ජෝසප් ලකුණු පුවරුවේ සටහන් වූ අඩුම ලකුණු සංඛ්‍යාව වේ. ක්ලයිව් ඉන්මන් (Clive Inman) ගේ ලකුණු 204 ඉහළම තනි ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස තවමත් නොකැඩී පවතින අතර ශෙනාල් වර්ණකුල 1997 දී ලකුණු 41කට කඩුලු 9ක් දවා ගැනීම තවමත් හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත අතර පවතී.

සාන්ත ජෝසප් කණ්ඩායම

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය හෙබවූ ජෙහාන් ඩැනියෙල් හට මෙවර සාන්ත ජෝසප් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම හිමිව තිබේ. පසුගිය වසරේ මහා ක්‍රිකට් තරගයේ ද කැපී පෙනෙන දස්කම් අතරට පිවිසීමට සමත් වූ ඔහුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිදුවීම නිසා මෙවර පාසල් ක්‍රිකට් වාරයේ තරග රැසක් අහිමි වුවත් ක්‍රීඩා කළ තරග 6 තුල දී එක් තරගයකට ලකුණු 50 සාමාන්‍යයක් තබා ගනිමින් ලකුණු 400ක් වාර්තා කිරීමට ඔහු සමත් විය. සුපිරි ක්‍රිකට් තරුවක පෙරමග ලකුණු පෙන්වන ජෙහාන් ඩැනියෙල් හට මෙවර තරගය ජයග්‍රහණය කිරීමේ ලා වැඩිම වගකීම් ප්‍රමාණයක් පැවරෙනු ඇත.

මෙවර පාසල් ක්‍රිකට් සමයේ ලකුණු 700ක් රැස් කරගෙන සිටින නිපුන සුමනසිංහ හට මෙවර කණ්ඩායමේ උපනායක තනතුර හිමිව තිබේ. මෙවර තරග සමයේ ලකුණු දහසේ සීමාව ඉක්මවූ ප්‍රථම ක්‍රීඩකයා වන සාන්ත ජෝසප් විදුහලේ වමත් පිතිකරු රෙවාන් කෙලී මෙවර සාන්ත පීතර විදුහලට වැදගත්ම කඩුල්ල වනු ඇත.

ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වන කෙලී මෙවර තරග සමයේ දී ශතක තුනක් හා අර්ධ ශතක හයක් සමඟින් ලකුණු 1189ක් වාර්තා කිරීමට සමත් විය. මෙවර පාසල් ක්‍රිකට් පිටියේ ලකුණු 182ක සුපිරි ඉනිමක් දියත් කළ ඔහු වෙස්ලි විදුහලට එරෙහිව දෙවෙනි කඩුල්ලට ලකුණු 314ක සබඳතාවක් පිහිටුවීමට දායක වෙමින් වාර්තා පොත් අතරට ද පිවිසීමට සමත් විය.

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙවර සාන්ත පීතර පිතිකරණ ලැයිස්තුව අන්දමන්ද කරනු ඇත. පහළොස් වියැති ඔහු මෙවර සිය පළමු තරග වාරයේ පන්දු යවමින් ලකුණු 550ක් පමණක් ලබා දී කඩුලු 70ක් ලබා ගැනීමට සමත් විය. වේගපන්දු යවන ලක්ෂාන් ගමගේ හා වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ ගේ පන්දු යැවීමේ සුසංයෝගය මෙවර සාන්ත පීතර පිතිකරුවන්ට දැඩි අභියෝගයක් වනු ඇත. පිත්තෙන් ද දස්කම් පාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ලක්ෂාන් ගමගේ මෙවර තරග සමය තුල දී ලකුණු 730ක් වාර්තා කරගෙන කඩුලු 43ක් දවා ගැනීමට සමත්ව තිබේ. කඩුලු පහ බැගින් අවස්ථා 4ක් හා කඩුලු 10 බැගින් අවස්ථා 2ක් සමඟින් අශේන් ඩැනියෙල් සාන්ත ජෝසප් පන්දු යැවීමේ බලකාය සවිමත් කරද්දී කඩුලු තිහේ සීමාව ආසන්න කළ වමතින් දඟපන්දු යවන මිරංග වික්‍රමගේ ඔහුට අනගි සහයක් වනු ඇත.

ආරම්භක පිතිකරු ජොහාන් ද සිල්වා සහ කඩුලු රකින පිතිකරු සචින්ත රවිඳු මෙවර තරග වාරයේ දී ලකුණු 500යේ සීමාව පසු කරමින් පිතිකරණ ලැයිස්තුව සවිමත් කරන අතර අපේක්ෂිත දක්ෂතාවලට පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් ද ළඟා වුවහොත් ශූරතාවය සාන්ත ජෝසප් විදුහලට නැවතත් රැගෙන යාමට හැකි වනු ඇත.

තරග ගණන සම්පූර්ණ ජයග්‍රහණ පළමු ඉනිමේ ජයග්‍රහණ ජය පරාජයෙන් තොර සම්පූර්ණ පරාජයන් පළමු ඉනිමේ පරාජයන්
18 5 9 0 0 4

අනුමානිත කණ්ඩායම

රෙවාන් කෙලි, ජොහාන් ද සිල්වා, නිපුන් සුමනසිංහ, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ, ජෙහාන් ඩැනියෙල්, දිනෙත් ජයකොඩි, සචින්ත රවිඳු, ලක්ෂාන් ගමගේ, දුනිත් වෙල්ලාලගේ, මිරංග වික්‍රමගේ, අශේන් ඩැනියෙල්.

සාන්ත පීතර කණ්ඩායම

පිතිකරණ ලැයිස්තුවේ ඉහළ පන්දුවට පහර දෙන මෙන්ම ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක හට මෙවර සාන්ත පීතර ක්‍රිකට් කණ්ඩයම මෙහෙය වීමේ වරම් හිමිව තිබේ. වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස දස්කම් දැක්වූ ඔහුට මෙවර තරග වාරයේ තරග රැසක් මග හැරුණ ද මුහුණ දුන් තරගවල සුපිරි දස්කම් පෙන්වූ ඔහු කඩුලු 20ක් ලබා ගනිමින් හා ලකුණු 675ක් වාර්තා කර ගනිමින් සිය කණ්ඩායම ඉහළින් ඔසවා තැබීමට සමත් විය. සමබර ජෝසප් කණ්ඩායම පරාජය කිරීමෙහි ලා මෙවර නායක සන්තුෂ් ගුණතිලකගේ ඉහළ දායකත්වය වැදගත් වනු ඇත.

අර්ධ ශතක හතරක් සමඟින් ලකුණු 750 සීමාව ඉක්මවූ කඩුලු රකින ක්‍රීඩක ශාලිත් ප්‍රනාන්දු හා අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 700 සීමාව තරණය කළ අත්දැකීම් බහුල රන්මිත් ජයසේන මෙවර සාන්ත පීතර පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කරනු ඇත. මේ තරග වාරයේ දී පිළිවෙළින් ලකුණු 649ක්, 488ක්, 301ක් බැගින් වාර්තා කර ගනිමින් ශැනොන් ප්‍රනාන්දු, සුලක්ෂණ ප්‍රනාන්දු හා ප්‍රබසර හේරත් සාන්ත පීතර පිතිකරණ ලැයිස්තුවේ නැගී එන තරු ලෙස කුසලානය උදෙසා තරග වදිනු ඇත.

උපනායක මිෆ්ලාල් අමීන්, සචින් සිල්වා දඟපන්දු සුසංයෝගය මෙවර තරග වාරය පුරා පිතිකරණ ලැයිස්තු භීතියට පත් කිරීමට සමත් වූ ඇත. ඔවුන් දෙදෙනා එක්ව ප්‍රබල පිතිකරණ ලැයිස්තු බිඳ දමමින් කඩුලු 175ක් බිඳ දැමීමට සමත් වූ අතර උපනායක මිෆ්ලාල් අමින් අඛණ්ඩව තරග වාර දෙකක දී කඩුලු 100යේ සන්ධිස්ථානය ඉක්මවා ගිය පළමු සාන්ත පීතර ක්‍රීඩකයා වෙමින් මෙවර තරග වාරයේ ද කඩුලු 100 සීමාව ඉක්මවා යන්නට සමත් වීම පීතරයින්ගේ මානසික මට්ටම ඉහළ දැමීමට  හේතුවක් වී ඇත. නායක ගුණතිලකට සවියක් වෙමින් ශිවාන් පෙරේරා හා වමත් වේගපන්දු යවන ක්‍රීඩක තාරික් සබෝර් නව පන්දුව දෝලනය කරනු ඇත. මෙවර තරග වාරයේ දී සාන්ත පීතරයින් තරග පහක සම්පූර්ණ ජය හිමි කර ගත්ත ද තරග තුනක් සම්පූර්ණයෙන්ම පරාජය වීමට සිදුවීම මෙවර තරග වාරයේ ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් විය.

තරග ගණන සම්පූර්ණ ජයග්‍රහණ පළමු ඉනිමේ ජයග්‍රහණ ජය පරාජයෙන් තොර සම්පූර්ණ පරාජයන් පළමු ඉනිමේ පරාජයන්
20 5 7 1 3 4

අනුමානිත කණ්ඩායම

සන්තුෂ් ගුණතිලක, ශැනොන් ප්‍රනාන්දු, සුලක්ෂණ ප්‍රනාන්දු, ශාලිත් ප්‍රනාන්දු, රන්මිත් ජයසේන, නිපුංක ෆොන්සේකා, ප්‍රබසර හේරත්, සචින් සිල්වා, මිෆ්ලාල් අමීන්, කනිෂ්ක මදුවන්ත, තාරික් සබෝර්.

තියුණු තරගයක් උදෙසා

කණ්ඩායමක පළමු ඉනිම පන්දුවාර 60කට සීමා වනු ඇත. දින දෙක පුරා පන්දුවාර 210ක් ක්‍රියාත්මක වීමට නියමිත අතර තණතිල්ල පළමු භාගයේ වේග පන්දු යවන්නන්ට වාසි සහගත වුවත්, කාලය ගතවත්ම දඟපන්දු යවන්නන් කරළියට එනු ඇත. සමබර ප්‍රබල කණ්ඩායම් දෙකක් කරට කර ගැටෙන සාන්ත ජෝසප් සාන්ත පීතර මහා ක්‍රිකට් තරගයේ ජය සිය පාසලට ලබා දීමට කණ්ඩායම් දෙකම අවසාන පන්දුව තෙක් ගැටෙනු ඇත.

84වන සාන්තුවරයන්ගේ සටන සජීව ලෙස රැගෙන යන්නට ThePapare.com අප සූදානම්. ThePapare වෙබ් අඩවියෙන් මෙන්ම ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ඩයලොග් My TV ඔස්සේ මාර්තු 2 හා 3 උදෑසන 8.30 සිට තරගය සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<