ඉන්දු-පාකිස්තාන ද්වන්ද සටනකට PCBයෙන් නව යෝජනාවක්!

1241
Pakistan legend wants more IND-PAK games Translation

ICCය මඟින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි සහ ආසියානු කුසලාන තරග මාලාවන් හැරුණුකොට ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් දැකගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින් හට හිමි වනුයේ ඉතාමත් කලාතුරකිනි.

පසුගිය වසර කිහිපය පුරාවටම අවස්ථා රැසක දී විවිධ පාර්ශවයන් විසින් පවතින තත්වය වෙනස් කළ යුතුය යන ස්ථාවරයේ සිට ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට උත්සාහ දැරුවත්, තවමත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ඔවුන් සියලු දෙනාම  අපොහොසත් වී තිබේ.

මෙයට ප්‍රධානතම හේතුව බවට පත්වී තිබෙන්නේ විවිධ හේතු කාරණා යටතේ දෙරට අතර රාජතාන්ත්‍රික වශයෙන් පවත්නා විරසකයින් බව ඔබ අප කවුරුත් දන්නා පැහැදිලි කාරණාවකි.

වසර නවයකට පෙර එනම් 2012 දෙසැම්බර් මාසයේ දී පාකිස්තාන කණ්ඩායමක් T20I තරග තුනක් සහ එක්දින තරග කිහිපයක් සඳහා ඉන්දියාවේ තරග සංචාරය කිරීමෙන් අනතුරුව මේ දක්වා දෙරට එකදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් සංවිධානය නොවීමට බලපා තිබෙන්නේ ප්‍රධානතම හේතුව වන්නේ ද දේශපාලනික වශයෙන් රටවල් දෙක අතර පවත්නා මතගැටුම් වීම ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.

නමුත් මේ වන විට දෙපාර්ශවය නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු මෙම තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් තිබෙන්නේ දේශපාලනය වැනි ක්‍රීඩාවට අදාළ නොවන පරිබාහිර සාධකයන් ක්‍රීඩාවේ අඛණ්ඩ  පැවැත්ම සඳහා කිසිදු අයුරකින් බාධාවක් බවට පත්නොවිය යුතු බව පෙන්වා දෙමිනි.

Sport Star ක්‍රීඩා නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී හිටපු පාකිස්තාන නායක Aamer Sohail අවධාරණය කොට තිබුණේ ක්‍රීඩාවෙන් දේශපාලනය වෙන්කොට තැබීම සඳහා වත්මන් ICC පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ සමඟින් තමන් එකඟවන බවයි.

තවද පසුගිය දිනක පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja මහතා ද මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් යෝජනා කරමින් පෙන්වා දී සිටියේ ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සහභාගී වන සිව්කොන් තරගාවලියක් සංවිධානය කිරීම ඔස්සේ යම් ආකාරයක සුභවාදී ප්‍රවේශයක් මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ලබාගත හැකි බවයි.

මීට අමතරව Aamir Sohail මහතා ඉහත සාකච්ඡාව අතරතුර දී වත්මන් ඉන්දීය කණ්ඩායම් නායකත්වය පිළිබඳව සිය මතය ඉදිරිපත් කරමින් පවසා සිටියේ සීමිත පන්දුවාර තරග සඳහා Virat Kohliගේ අනුප්‍රාප්තිකයා ලෙස කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Rohit Sharma වෙත පැවරීම වඩාත් කාලෝචිත වනු ඇති බවයි.

“Sharmaගේ පිතිකරණ රටාවට නායකත්වය නිසා අමතර පීඩනයක් එල්ල වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද ඔහු අවස්ථා කිහිපයක දී ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා. IPL තරගවාලියේ දී Mumbai Indians කණ්ඩායම හසුරවපු ආකාරය ඒකට හොඳම උදාහරණයක්.

තවත් කාරණයක් මේ වෙලාවේ දී මතක් කරලා දෙන්න ඕනෑ. IPL තරගාවලිය කියන්නේ නැඟී එන යොවුන් ඉන්දීය ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා ලෝකයට ප්‍රදර්ශනය කරන්න හොඳ තෝතැන්නක්. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි IPL තරගාවලියේ දී පෙන්වන දක්ෂතා සමඟ ටෙස්ට් තරග ආකෘතියට සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලිය පටලවා නොගත යුතුයි කියන එක. ඒ සඳහා ප්‍රධාන මිනුම්දණ්ඩ විදියට යොදාගන්න ඕන පළමු පෙළ තරගාවලිවල දී දක්ෂතා දක්වන ආකාරයයි.”

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<