එංගලන්ත සංචාරයට යන පාකිස්තාන සංචිතය නිකුත් වෙයි

297
ENGvPAK

එළඹෙන එංගලන්ත තරග සංචාරය සඳහා තරග වැදීමට නියමිත ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් පාකිස්තානු ටෙස්ට් සහ විස්සයි විස්ස සංචිතය නම් කර තිබේ.

>>හිටපු පාකිස්තාන ප්‍රබලයෙක් පුහුණු තනතුරකට<<

අසාර් අලී ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර බාබර් අසාම් විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටියි.

මෙම සංචිතය සඳහා සොහයිල් ඛාන් සහ වයස අවුරුදු 19ක් වන හයිඩර් අලී ඇතුළත් කර තිබෙන අතර අලී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ජාතික සංචිතයක් සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය වේ. ඊට අමතරව කශීෆ් බහට්ටි මෙම සංචිතය තුල සිටින තවත් නවක ක්‍රීඩකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගාවලි තුල ද සංචිතයේ සිටි නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමට ඔහුට තවමත් අවස්ථාව ලැබී නොමැත.

සොහයිල් 2016 වසරේ දී අවසන් වරට පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු එම වසරේ දී එංගලන්තයට එරෙහිව කඩුලු 5 අවස්ථාවන් දෙකක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. පසුගිය වසරේ පැවතී Quaid-e-Azam ක්‍රිකට් තරගාවලියේ දී තරග 9ක් තුල කඩුලු 22ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසාවෙන් සොහයිල් හට නැවතත් ජාතික සංචිතයේ ඉඩක් වෙන්කරවා ගැනීමට අවස්ථාව ලැබී ඇත.

මොහොමඩ් අමීර් සහ හැරිස් සොහෙයිල් පුද්ගලික හේතු නිසාවෙන් තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි වන බව පාකිස්තානු ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙන අතර හසන් අලීගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධමය තත්වය තවමත් සුව අතට පත්ව නොමැති නිසා ඔහු ද මේ සංචිතය සඳහා නම් කර නොමැත.

>>ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම කල් යයි<<

පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ මිස්බා උල් හක් වන අතර එංගලන්ත තරග සංචාරය තුල දී ඔවුන්ගේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස වකාර් යුනිස් සහ දඟපන්දු පුහුණුකරු ලෙස මුස්තාක් අහමඩ් කටයුතු කරනු ලැබේ.

පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය කොදෙව් එංගලන්ත ටෙස්ට් තරගාවලිය අවසන් වූ වහාම අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට දැනට කටයුතු සූදානම් කර තිබෙන අතර එම තරගාවලිය සඳහා ටෙස්ට් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ.

පාකිස්තානු සංචිතය: අබිඩ් අලී, ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, ශාන් මසූඩ්, අසාර් අලී (ටෙස්ට් නායක), බාබර් අසාම් (ටෙස්ට් උප නායක සහ විස්සයි විස්ස නායක), අසාද් ෂෆීක්, ෆවාඩ් අලාම්, හයිඩර් අලී, ඉෆ්තිකාර් අහමඩ්, කුශ්දිල් ශා, මොහොමඩ් හෆීස්, ශොයිබ් මලික්, මොහොමඩ් රිස්වාන්, සෆ්රාස් අහමඩ්, ෆාහීම් අශ්රාෆ්, හැරිස් රෞෆ්, ඉම්රාන් ඛාන්, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් හස්නෙයින්, නසීම් ශා, ශහීන් ශා අෆ්රිඩි, සොහයිල් ඛාන්, උස්මාන් ශීන්වාරි, වහබ් රියාස්, ඉමාඩ් වසීම්, කශීෆ් බහට්ටි, ශදබ් ඛාන්, යසීර් ශා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<