ඉන්දියාවට යන එක ගැන පාකිස්තානය තාම හිතනවා ලු

ICC Cricket World Cup 2023

476

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වනවා ද, නැද්ද යන කාරණය පිළිබඳ ඇගයීම් කටයුතු සිදු කෙරෙමින් පවතින බව පාකිස්තාන විදේශ සේවා කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා.

ICC විසින් මෙම තරගාවලියට අදාළ තරග ලැයිස්තුව ප්‍රකාශ කිරීම පවා ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව වී ඇති මෙම ගැට‍ලුව පිළිබඳ පාකිස්තානයෙන් ලද පළමු නිල නිවේදනය මෙය බවයි ESPN cricinfo වෙබ් අඩවිය විසින් සඳහන් කරන්නේ.

මීට දින කිහිපයකට පෙර තරගාවලියට සහභාගී වීමට නියමිත සියලු රටවල් වෙත තරගාවලියේ දල තරග තරග සැලැස්මක් ICCය විසින් නිකුත් කර තිබූ අතර, ඉන්පසුව PCB විසින් ICCය වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ රජයෙන් ලැබෙන අවසන් තීරණය නොමැතිව තමන්ට එම තරග ලැයිස්තුව අනුමත කළ නොහැකි බවයි. ඒ අනුව මෙවර ලෝක කුසලානය සඳහා පාකිස්තානයේ සහභාගීත්වය ඔවුන්ගේ රජයේ අනුමැතිය අනුව සිදු වනු ඇත.

එමෙන්ම එළඹෙන ජූලි 04 වැනිදා පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක හමුවක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙත ඇරයුම් ලැබී ඇති බව පවසා සිටි පාකිස්තාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු විසින් සඳහන් කර තිබුණේ ඉදිරියේ දී පාකිස්තානයේ ලෝක කුසලාන සහභාගීත්වය පිළිබඳ ව ද නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි.

“ක්‍රිකට් සම්බන්ධයෙන් පාකිස්තානයේ අදහස වෙන්නේ ක්‍රීඩාව දේශපාලනය සමඟ මිශ්‍ර නොවිය යුතුයි කියලා. පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන ඉන්දියාවේ ප්‍රතිපත්තිය අපේ බලාපොරොත්තු සුන් කළා.

ලෝක කුසලානයට සහභාගී වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ඇතුළු සියලු අංශ නිරීක්ෂණය කරලා ඒ පිළිබඳ අපේ අදහස් PCBය වෙත ඉදිරිපත් කරනවා.”

ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එම ප්‍රකාශකයා විසින් එසේ අදහස් පළ කර තිබුණා. ඒ අනුව මෙම ඇගයීම් කටයුතු සියල්ල අවසාන වීමෙන් පසුව පාකිස්තානයේ ලෝක කුසලාන සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි.

දැනට ඇති දල සැලැස්ම අනුව 2023 එක්දින ලෝක කුසලානය ඔක්තෝබර් 05 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර ඉන් දවස් දහයකට පසු ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් පාකිස්තානය විසින් අවසන් වරට ඉන්දියාවේ සංචාරය කළේ 2016 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙනුයි. ඒ සඳහා සහභාගී වීමට පෙර ද තමන්ට අවශ්‍ය ආරක්ෂාව නොලැබේ නම් තමන් තරගාවලියෙන් ඉවත් වන බවට PCBය විසින් ඉන්දියාවට අනතුරු අඟවා තිබුණා.

එමෙන්ම මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දියාව ද අකමැති වූ අතර එම නිසා තරගාවලිය කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට සිදු වුනා.

මෙවන් වාතාවරණයක් යටතේ පාකිස්තානය මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වීම පිළිබඳ ලැබෙන තීරණය පිළිබඳ ව මුළු ක්‍රිකට් ලෝකයේ ම විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ඒ පිළිබඳ නවතම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<